සිංහරාජ වනාන්තරයේ සිටින අලින් දෙදෙනා කොටු කර තැබීමට කැලෑ ඉඩම් කොටසක් පොොරාන්දු වූ පරිදි තුන් මාසයක් ඇතුලත ලබා නොදුනහොත් තමන් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා පවසයි.
වන අලි ප‍්‍රශ්නය ගැන රක්වාන ප‍්‍රදේශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
අදාළ ඉඩම් කොටස තුන් මසක් තුලදී ලබා දීමට ජනාධිපතිවරයා පොරොන්දු වූ බවද අමාත්‍යවරයා පවසා ඇති අතර සිංහරාජයේ අලින් දෙදෙනා ඇල්ලීමේ මෙහෙයුම ජනාධිපතිවරයාගේ නියෝගයෙන් නතර කිරීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා අප්‍රසාදයෙන් සිටින බවද වාර්තා වෙයි.
මෙම අවස්ථාවට එක්ව සිටි නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම ද පවසා ඇත්තේ ඇමති ෆොන්සේකා සමගින් තමන්ද නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බවය.
මේ අතර පසුගියදා සරත් ෆොන්සේකා අමාත්‍යවරයා කිතුල් උතුව ගම්මානය වෙත ගිය අවස්ථාවේ සඳහන් කර ඇත්තේ මොකා කකුලෙන් ඇද්දත් වසරක් ඇතුලත අලිමිනිස් ගැටුම මුළු රටෙන්ම තුරන්කරන බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද සඳහන් කර ඇත.
“අක්කර 2600 ක අලි අනාථාගාරයක් හොරොව්පතානේ තියෙනවා. අපි ඒක සංරක්ෂණය කොට මේ දඩබ්බර අලින් එහෙ ගිහින් දානවා. අපට අධි සුඛෝපභෝගී වාහන ගන්න රුපියල් මිලියන 500 ක් ලැබුණා. අපි ඒ මුදල් වන ජීවියේ නඩත්තුවට අවශ්‍ය ඉන්දියන් වාහන, හදිසි අවස්ථා සඳහා යතුරුපැදි , කි.මී.12 න් 12 ට නිළධාරින්ගේ ආරක්ෂක හා නඩත්තු කුටි, ආදිය වෙනුවෙන් යොදවනවා. මේ සියල්ල අවුරුද්දක් ඇතුලත කරනවා. රක්ෂිතයන් දෙක මැදින් ඇති අලි මංකඩ අපි නිවැරදිව සකස් කරනවා. රජයට බරක් නොවී මේ වැඩ ටික අපි කරනවා. බිලියන 5 ක මුදලක් අපේ බැංකුවේ තිබෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් තවත් මුදල් ලැබෙනවා. මුදල් ගැන කොහෙත්ම ප්‍රශ්ණයක් නෑ. මොකා කකුලෙන් ඇද්දත් අපේ රටට වදයක් වී ඇති අලි මිනිස් ගැටුම අවුරුද්දක් ඇතුලත අවසන් කරනවා.“

