මාලිමා ආණ්ඩුව බලයට පත් වූ පසු ආංශික අධීක්ෂණ කාරක සභා ප්‍රමාණය අඩු කර, තරුණ සහභාගිත්වය ඉවත් කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී අධීක්ෂණ කාරක සභා අහිමි වූ තරුණයින් මුණ ගැසුණු අවස්ථාවේ දී ය.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
රජය තරුණ අරගලයේ පොරොන්දු කඩකරලා
''2022 වසරේ ක්‍රියාත්මක වූ අරගලයේ ප්‍රතිඵලයක් ලෙස රටේ තාරුණ්‍යයට ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය තුළ ලබා දිය හැකි දායකත්වය ප්‍රවර්ධනය කිරීමට, පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට රටේ තරුණයන්ට එක්වීමට අවස්ථාව ලබා දී 400කට ආසන්න තරුණ තරුණියන් පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවල සාමාජිකයන් ලෙස එක් කර ගෙන ප්‍රතිපත්ති සම්පාදනය උදෙසා තාරුණ්‍යයේ මතය සහ අදහස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමි වුණා. නමුත් වත්මන් රජය බලයට පත් වූ පසු ආංශික අධීක්ෂණ කාරක සභා ප්‍රමාණය අඩු කර, තරුණ සහභාගිත්වය ඉවත් කරලා.
යොවුන් නියෝජනත්වය නැවත ලබා දෙන්න
අරගලය ඉල්ලා සිටි යෝජනාව ක්‍රියාත්මක වී වසර දෙකක් තුළ නව රජය පත්වී මේ තරුණයින්ට තිබූ අවස්ථාව ඉවත් කරලා. ඒ අවස්ථාවේ තරුණයින් මේ අධීක්ෂණ කාරක සභාවලින් ඉවත් කිරීමට විරුද්ධව සමගි ජන බලවේගය අදහස් ඉදිරිපත් කළත් රජය ඊට ඇහුම්කන් නොදී, රජය තරුණ අරගලයේ පොරොන්දු කඩකරලා. එබැවින් මේ යොවුන් නියෝජනත්වය නැවත වරක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා. 25%ක්වන යොවුන් පරපුර මේ ප්‍රතිපත්ති සම්පාදනය සඳහා අවස්ථාව ලබා දීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ වගකීමක්. තරුණයින්ගේ හඬ ප්‍රතික්ෂේප කර රටකට ඉදිරියට යා නොහැකි යි.''

