Language Switcher

V2025

පොහොට්ටුව ඉදිරියෙන් : හිටලර්ගේ ස්වස්තිකය පිටිපස්සෙන් - හේෂා

ශ්‍රී ලංකාව, මිලිටරි පාලකයෙකු විසින් හෝ පාලනය කොට සංවර්ධනය කළ යුතු බවට, අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් පසුගිය දා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් බෞද්ධයින් වශයෙන් තමන් දැඩි ලෙස කම්පා වෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන පවසයි.

ඊයේ (21)  කොළඹ දී  පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර ඇත.

මිලිටරි පාලන ප්‍රතිපත්තියක් අනුමනය කරන ඒකාධිපති පාලකයෙකු මෙම රට පාලනය කිරීම බෞද්ධ දර්ශනය හා ගැලපෙන්නේ කෙසේද යන්නත්, බෞද්ධ සංකල්ප හා ඒකාධිපති පාලන ලක්ෂණ ගැලපෙන්නේ කෙසේද යන්නත් ප්‍රශ්නයක් බවද පැවසු මන්ත්‍රීවරයා  පූජ්‍ය වෙඬරුවේ උපාලි නාහිමියන් සිදුකළ එම අදාළ ප්‍රකාශය සිදුකළේ කුමන පදනමකින් ද යන්න පිළිබඳවත්, කුමන හේතුවකින් ද යන්න පිළිබඳවත්, බරපතල ගැටලු පවතින බව ද පැවසීය.

උපාලි නාහිමියන් විසින් එවන් ප්‍රකාශ සිදු කරන්නේ, වත්මන් රජය ඒකාධිපති පාලන ප්‍රතිපත්තීන් අනුගමනය නොකරමින්, නිදහස හා සමාජ සාධාරණත්වය මෙන්ම මාධ්‍ය නිදහස ද ආරක්ෂා කරගනිමින් යහපාලන සංකල්ප තුළ රාජ්‍ය පාලනය කිරීම හේතුවෙන් දැයි මන්ත්‍රීවරයා  මෙහිදී ප්‍රශ්න කර සිටි අතර  පසුගිය රජය සමයේ දී ජනතාව රවටමින් සිය පටු දේශපාලන අරමුණු ඉටු කරගත්තා සේම, වර්තමානයේ දී මහා සංඝරත්නය රවටමින් සිය පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායම සූදානම් සිටින්නේදැයි ගැටළුවක් පවතින බව ද සඳහන් කළේය.

පාලකයින්ගේ පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීම සඳහා අමානුෂික ලෙස මනුෂ්‍ය ඝාතන සිදුකළ කාලයක් නැවතත් රටට අවශ්‍ය කර ඇත්තැයි යන්න ද ප්‍රශ්නයක් වී ඇති බවත්  පොහොට්ටුවේ ලකුණට මුවා වෙමින් හිටලර්ගේ ස්වස්තික ලකුණ ඉස්මතු කොට මේ රට නැවතත් කුරිරු ඒකාධිපති පාලන යුගයක් කරා ඇද දැමීමේ ම්ලේච්ඡ සැලසුම් රටේ සමස්ථ ජනතාව එක්ව පරාජය කළ යුතු බවද ඔහු සඳහන් කර ඇත.

3K1A3903මිලිටරි පාලනයක් රටට එපා - චමින්ද විජේසිරි 

මෙහි දී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි  පැවසුවේ, කිසිදු කණ්ඩායමක් විසින් හෝ රටට පව්කාරයින් බිහිකිරීමේ ක්‍රියාවන්වල යෙදී සිටියි නම් එම උත්සහයන් පරාජය කිරීමට ජනතාව පෙළගැසිය යුතු බවය.

එසේම  ශ්‍රී ලංකාව යනු සිංහල බෞද්ධ රටක් බවත්, එම නිසා ශ්‍රී ලංකාව බෞද්ධ දර්ශනය මත පදනම්ව පාලනය කිරීමේ ක්‍රමවේදයක් පවත්වා ගෙන යා යුතු බවත් මන්ත්‍රීවරයා මෙහි දී පැහැදිලි කර සිටි අතර  මෙරට පැවති මිලිටරි පාලනය, වත්මන් රජය බලයට පත්වීමත් සමගම අවසන් කළ බවත් නැවත එවන් පාලන ප්‍රතිපත්තියක් රටට කිසිසේත් අවශ්‍ය නොවන බවත් ඔහු පැවසීය.

තවද  2015 ට පෙර පැවති පාලන කාලය තුළ මෙන් ජනතාව අසීමිත ලෙස පීඩාවට පත් කරමින්, සංඝ භේදය ඇති කරමින්, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය කෙලසමින්, ආනන්තරීය පාප කර්ම සිදු කරමින්, රට ආරාජික කිරීමට උත්සහ නොකරන ලෙසට අදාළ පාර්ශව වෙත අවධාරණය කර සිටින බවත්  බෞද්ධ සංකල්ප පරිහානියට පත්කරමින්, බෞද්ධ සංස්කෘතිය දෙකඩ කරමින් එම පාර්ශව සිදුකිරීමට යන වැඩපිළිවෙල නිසා බෞද්ධ රටක් ලෙස අප රටට විශාල කැළලක් ඇති වීමට ඉඩ ඇති බව ද මන්ත්‍රීවරයා එහිදී අවධාරණය කර සිටියේය.