මෙවර 98වන ඔස්කාර් සම්මාන උලෙළෙහි හොඳම කැමරාකරණය (Best Cinematography) සම්මානය දිනාගත්තේ Autumn Durald Arkapaw කියන ඇමරිකානු ජාතික කැමරා අධ්‍යක්ෂවරිය.
ඇය මේ සම්මානය දිනාගන්නේ "Sinners" චිත‍්‍රපටයේ කැමරාකරණය වෙනුවෙන්. මම හිතන්නේ මේ අවස්ථාව ඓතිහාසිකයි. හේතුව තමයි ඔස්කාර් සම්මාන උලෙළවල ඉතිහාසයේ මීට පෙර හොඳම කැමරාකරණය සම්මාන සියල්ල ම දිනාගත්තේ පිරිමි පාර්ශවය වීම.

ප්‍රථම වතාවට තමයි හොඳම කැමරාකරණය සම්මානය කාන්තාවකට හිමිවෙන්නේ. ඇය මේ සම්මානය ලබන්නේ ඇය සමඟ නිර්දේශ වුණු අත්දැකීම් බහුල හොඳම කැමරා අධ්‍යක්ෂවරයන් සියල්ල ම පරදවමින්. ඒ නිර්දේශ නාම ලබපු කැමරා අධ්‍යක්ෂවරයන් සියල්ල ම පිරිමින්. අනෙක් අතට ඕටම් ගේ චිත්‍රපට ලැයිස්තුව එතරම් දිගු නැහැ. ඇය මීට පෙර කැමරාකරණය කරලා තියෙන්නේ චිත‍්‍රපට නමයක විතර. මේ ජයග්‍රහණය ඇත්තෙන් ම විශිෂ්ට වෙන්න එක හේතුවක් ඒක. ඒකෙන් පේන්නේ ඕටම් "සීනර්ස්" චිත‍්‍රපටයේ කැමරාකරණය වෙනුවෙන් ලබා දීලා තියෙන වෙහෙස.
Autumn සම්මානය හිමිවුණා ම ඇය කරන්නේ තමන් පිළිබඳ වර්ණනා කරන වැඩේට වඩා ඒ මොහොතේ තමන් එක්ක හිටපු සියලු ම කාන්තාවන්ට ස්තුතිවන්ත වෙන එක. ඇය නිහතමානීව තම කෘතඥතාව පළ කළේ මෙන්න මේ විදියේ වචනවලින්.
"මේ කාමරයේ ඉන්න හැම ගෑණු කෙනෙක් ම නැගිටින්න ඕන, මොකද මට හිතෙන්නේ ඔයාලා නැතුව මට මෙතනට එන්න බෑ කියන එක. මේ මුළු ප්‍රචාරක ව්‍යාපාරයේ ම ඉන්න හැම ගෑණු කෙනෙක් ගෙන් ම මට ගොඩක් ආදරයක් දැනිලා තියෙනවා. මේ වගේ අවස්ථාවක් සිද්ධ වෙන්නේ ඔයාලා නිසා වෙනවා කියලා මට දැනෙනවා."
Malintha Vithanage


