ආණ්ඩුව ජනතාවට ලබාදෙන්නේ සත්‍ය තොරතුරු ද...? - මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

ආණ්ඩුව ජනතාවට ලබාදෙන්නේ සත්‍ය තොරතුරු ද...? - මහාචාර්ය ප්‍රසන්න පෙරේරා

මැදපෙරදිග යුදමය වතාවරණය කුඩා ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාව බදු රටවලට විශාල ගැටලුකාරී තත්ත්ව ඇති කරමින් තිබෙන අතර ආණ්ඩුව ජනතාවට ලබාදෙන තොරතුරුවල සත්‍යතාව පිළිබඳව ගැටලුවක් පවතින්නේ යැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (18) පැවැති මාධ්‍ය හමුවේ දී ය.

එම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ප්‍රසන්න පෙරේරා...

රටේ දුප්පත්භාවය දෙගුණයකින් වැඩි වෙලා

''ඩොලර් බිලියන 7 ක සංචිත තිබෙන බව ආණ්ඩුව සහ මහ බැංකුව ප්‍රකාශ කරනවා. නමුත් භාවිතා කළ හැකි සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.5 ක්. ඒ වගේම 2026 බලාපොරොත්තු වන ආර්ථික වර්ධනයෙන් ශ්‍රී ලංකාව ඈත් වෙමින් යන තත්ත්වයක් නිරීක්ෂණය වෙනවා. ඒ අතරම රටේ දුප්පත්භාවය දෙගුණයකින් වැඩි වෙලා තිබෙනවා. ඇති නැති පරතරය ඉහළ ගොස් තිබෙනවා. සේවා වියුක්තියේ ගැටලුවක් ද මතුවෙමින් තිබෙනවා. කාන්තාවන් ගේ සහ තරුණයන් ගේ සේවා වියුක්ති ප්‍රශ්නයට අමතරව මැදපෙරදිග කලාපය තුළ සේවා වියුක්ති ගැටලුවක් ඇති වෙමින් තිබෙනවා. මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ වෘත්තිවල අස්ථාවරභාවයක් ඇති වී තිබෙනවා.

කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත අඩාළයි

සංචාරක කර්මාන්තයටත් මෙම අර්බදුය හරහා විශාල ප්‍රශ්න ගැටලු ගණනාවකට මුහුණ දීමට සිදුවී තිබෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආශ්‍රීතව ක්‍රියාත්මක වන රැකියා සම්බන්ධයෙන් ද ගැටලු කිහිපයක් මතුවෙමින් තිබෙනවා. කෙසේ නමුත් මැදපෙරදිග යුදමය වතාවරණය කුඩා ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාව වැනි රටවලට විශාල ගැටලුකාරී තත්ත්වයන් ඇති කරමින් තිබෙනවා. ජනාධිපති අනුර දිසානායක මහතා සහ රජයේ මැති ඇමැතිවරු රටේ මහජනතාවට ලබාදෙන තොරතුරු සම්බන්ධයෙන් ද සැකසහිතව බලන ස්වභාවයක් ද දකින්න ලැබෙනවා. ආණ්ඩුව ජනතාවට ලබාදෙන තොරතුරුවල සත්‍යතාවය පිළිබඳව ගැටලුවක් පවතිනවා. අනාගතයේ ඇතිවිය හැකි ගැටලුකාරි තත්ත්ව සම්බන්ධයෙන් කල් තියා ක්‍රියාමාර්ග ගැනීම නොහැකි වුවහොත් හදිසි කම්පනවලට සාර්ථක මුහුණ දීමට සිදුවන්නේ නැහැ. 2022 දී රටේ ආර්ථිකය අර්බුදකාරී තත්ත්වයට ගමන් කරමින් තිබෙන අවස්ථාවේ අද රට පාලනය කරන ජනාධිපති අනුර දිසානායක මහතා සහ මැති ඇමැතිවරු එදා විපක්ෂයේ සිට සිදුකළ වැඩකොටසට එහා ගිය සුවිශේෂි වැඩකොටසක් සමගි ජනබලවේගය සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකරනු ලබනවා.

විපක්ෂ නායකවරයා කියපු දේවල් අද ඇත්ත වෙලා 

හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවට සිදුවන බලපෑම පිළිබඳව සොයා බලා ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ආරම්භ කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරනු ලැබුවා.  නමුත් එදා විදේශ ඇමැති විජිත හේරත් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව සමච්චලයට ලක්කළා. කෙසේ නමුත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියපු දේ අද ආණ්ඩුවට පිළිගන්න සිදුවෙලා තිබෙනවා. අනේ ප්ලිස් කියලා රටේ ආර්ථිකය හසුරුවන්න නොහැකියි. වියහැකි සෑම සංසිද්ධියක්ම විග්‍රහ කොර රටේ ආර්ථිකය, රටේ මහජනතාව වෙනුවෙන් ආණ්ඩුව හසුරුවන්න කටයුතු කළ යුතුයි.

විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 2.4 කින් අඩු වෙලා

කෙසේ නමුත් මැදපෙරදිග කලාපයේ යුද්ධය දිග් ගැස්සුනොත් මැදපෙරදිග කලාපයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන විදේශ විනිමය ඉපැයුම්වලින් ආර්ථිකය මත යම් තෙරපුමක් ඇතිවීමට හැකියාව තිබෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ විනිමය ඉපැයිම්වලින් වැඩි ප්‍රමාණයක් ලැබෙන්නේ විදේශ ප්‍රේෂණවලින්. ඇතැම් වර්ෂවල දී ඩොලර් බිලියන 8 ක පමණ ප්‍රමාණයක් විදේශ ප්‍රේෂණවලින් ශ්‍රී ලංකාවට ලැබී තිබෙනවා. කෙසේ නමුත් මෙම විදේශ ප්‍රේෂණවලින් සියයට 50ක් පමණ ලැබී තිබුණේ මැදපෙරදිග කලාපයේ සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙන්. නමුත් මැදපෙරදිග යුද්ධය හේතුවෙන් මැදපෙරදිග සේවය කරන ශ්‍රි ලාංකිකයන්ට ලංකාවට මුදල් එවීමේදී විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ නිසා විදේශ ප්‍රේෂණ ඩොලර් බිලියන 2.4 කින් අඩුවීමේ ඉඩකඩක් තිබෙනවා.

අපනයන ආදායම් ඩොලර් බිලියන හතරකින් පහළට

පසුගිය වසරේ දී විශාල සංචාරකයින් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබුණා. ඒ හරහා ඩොලර් බිලියන 3.2ක ආදායමක් ලැබී තිබුණා. කෙසේ නමුත් ලෝකයේ යුදමය වාතාවරණයක් තිබෙන අවස්ථාවක සංචාරකයින් සංචාරය කරන්න පෙළඹෙන්නේ නැහැ. ඒ හරහා සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම ඩොලර් බිලියන 1.6 කින් පමණ සංචාරක ඉපැයුම් අඩුවීමේ ඉඩකඩක් තිබෙනවා.  2026 ඩොලර් බිලියන 13.6ක් භාණ්ඩ අපනයන ආදායම ලෙස ලැබී තිබුණා. කෙසේ නමුත් මැද පෙරදිග යුද්ධය හේතුවෙන් නැව් ගමනා ගමන ප්‍රමාද වී තිබෙනවා. ඒ වගේ ම නැව් රක්ෂණ ගාස්තු ඉහළ ගොස් තිබෙනවා.  මේ හේතුවෙන් ඩොලර් බිලියන 4 කින් පමණ අපනයන ආදායම් අඩුවීමේ ඉඩකඩක් තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ 2022 පැවැති ආර්ථික මට්ටමට රට ගමන් කිරිමේ පෙර නිමිත්තක් තිබෙනවා.

ප්‍රෙට්‍රල් ලිටරයක් රුපියල් 400ක් දක්වා ඉහළට

ලෝක වෙළදපොළෙහි බොරතෙල් බැරලයක මිල ඩොලර් 103ක් පමණ වෙනවා. නමුත් මැදපෙරදිග යුද්ධයට පෙර දින බොරතෙල් බැරලයක මිල ඩොලර් 71 යි. ඒ අනුව සියයට 45 කින් බොරතෙල් බැරලයක මිල වැඩි වී තිබෙනවා. මේ වනවිට ප්‍රෙට්‍රල් ලිටරයක් රුපියල් 317ක් වෙනවා. මැදපෙරදිග යුද්ධය යම් ප්‍රමාණයකින් වැඩි වුණොත් ප්‍රෙට්ට්‍රල් ලිටරයක් රුපියල් 370 ක් දක්වා වැඩි වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා. යුද්ධය නරක පැත්තට හැරුණහොත් ප්‍රෙට්ට්‍රල් ලිටරයක් රුපියල් 400 ක් දක්වා වැඩි වෙන්න ඉඩකඩ තිබෙනවා.  ඔටෝ ඩිසල් මිල රුපියල් 390 ත් 400 ත් අතර ප්‍රමාණයකින් වැඩි වීමේ ඉඩකඩක් තිබෙනවා. මෙම මිල ඉහළ යාම උද්ධමනයට බලපානු ලබනවා. ඩීසල් මිල ඉහළ යාම නිසා රටේ ආර්ථිකය අඩපණ වෙනවා. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් කෘෂිකර්මාන්තයට , කර්මාන්තවලට , ආර්ථික ක්‍රියාකාරකම් අඩපණ වෙනවා. මෙම තත්ත්වය නිසි අවබෝධයෙන් යුතුව තිරණ ගත යුතුයි.

රුපියල දුර්වල විය හැකියි

ඩොලරයක් සදහා මේ වනවිට ගෙවනු ලබන්නේ රුපියල් 311 ක මුදලක්.  මැද පෙරදිග යුද්ධය සාමාන්‍ය මට්ටමක පැවැතුණහොත් ඩොලරය රුපියල් 320 ත් 340 ත් අතර මට්ටමක පවතින්න පුළුවන්. නමුත් යුද්ධය දරුණු මට්ටමකට පත්වුවහොත් ඩොලරයේ අගය රුපියල් 350 සීමාව ඉක්මවා යාමේ හැකියාවක් තිබෙනවා. ඒ හරහා රුපියල දුර්වල වෙනවා. ඒ වගේම ආනයන වියදම් ඉහළ ගොස් භාණ්ඩ ගිණුමේ හිඟයක් ඇති වී ගෙවුම් ශේෂ හිඟය ඇති වී විදේශ සංචිත මත පීඩනයක් ඇති කරනු ලබනවා.

අප්‍රේල් මාසයේ දී විදුලි බිල 40%කින් ඉහළට

ලංකාවේ විදුලි උත්පාදනයට සියයට 25ක් පමණ ඩිසල් යොදා ගනු ලබනවා. ඇතැම් කාලගුණ තත්ත්ව යටතේ විදුලිය උත්පාදනයට සියයට 40ක් පමණ ඩිසල් යොදා ගනු ලබනවා. කෙසේ නමුත් අප්‍රේල් මාසයේදී සියයට 14 කින් පමණ විදුලි බිල වැඩි කිරීමට විදුලි සමාගම් ඉල්ලිමක් කර තිබෙනවා. ඒ වගේම ලක්විජය බලාගාරයේ මේ වනවිට යම් යම් අර්බුද ඇති වී තිබෙනවා. ප්‍රමිතියෙන් තොර ගල් අගුරු දහනය කිරීම හරහා ලක්විජය බලාගාරය හරහා උද්පාදනය කරන විදුලි ධාරිතාවය අඩු වී තිබෙනවා.  ඒ හරහා ඛණිජ තෙල් සඳහා තිබෙන ඉල්ලුම ඉහළ යනවා. ඒ අනුල ලංකාව තුළ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්ව නිසා විදුලි බිල සියයට 40 කි පමණ ඉහළ යාමට ඉඩකඩ තිබෙනවා.

ජාතික ජනබලවේග ආණ්ඩුවේ කම්පන අවශෝෂක බිඳිලා

කෙසේ නමුත් මෙම පුරෝකතනයක් සමගි ජනබලවේගය ඉදිරිපත් කරනු ලබන්නේ රටේ පවතින තත්ත්වයක් සහ යුද්ධයේ තිව්‍රතාව සහ ලංකා ආර්ථිකයේ ගනු ලැබු වැරදි තින්දු තිරණ මතයි. කෙසේ නමුත් මැද පෙරදිග කලාපය තුළ යුද ගිනි ඇවිළෙන විට ලංකා ආර්ථිකය මේ වනවිට තිබෙන්නේ ගිනි කන්දක් උඩයි. මෙයින් ප්‍රවේශම් වීමටනම් කම්පන අවශෝෂක තිබිය යුතුයි.  නමුත් වර්තමාන ජාතික ජනබලවේග ආණ්ඩුවේ කම්පන අවශෝෂක බිඳි ගොස් තිබෙනවා. මේ නිසා රටේ ජනතාවට රිදෙන්න තිබෙන ඉඩකඩ වැඩියි. ආණ්ඩුවට නිශ්චිත ආර්ථික වැඩපිළිවෙලක් නැහැ. ඒ වගේම රටේ අර්බුද සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට කමිටුවක් පත් කරනු ලැබුවා. එම කමිටුවේ කිසිදු ආර්ථික පිළිබඳව දැනුමක් තිබෙන කිසිම පුද්ගලයෙක් නැහැ. ආණ්ඩුවට ආර්ථික සැලැස්මක් නැහැ. ඒ වගේම ආණ්ඩුවට උපදෙස් ලබාගැනීමේ මානව සම්පත්වල අඩුපාඩුවක් තිබෙනවා.

වර්තමාන ආණ්ඩුවට ප්‍රායෝගිකව වැඩ කිරීමට නොහැකියි

කෙසේ නමුත් 1988 - 1993 කාලයේදී රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට රට තුළ අභ්‍යන්තර ගැටුම් තුනක කට මුහුණ දෙන්න සිදුවුණා.  ඒ වගේම එම කාලය තුළ ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීම හරහා බලශක්ති වෙළඳපොළ තුළ විශාල අර්බුදයක් ඇති වී තිබුණා. එම කාලය තුළ රටේ මිල ගණන් ඉහළ ගොස් උද්ධමනය වැඩි වුණා. 1988 - 1993 කාලය තුළ ආර්ථික වර්ධන වේගය සියයට 4.5 ක් ලෙස පැවැතුණා. ඒ වගේම උද්දමනය පාලනය කර ගැනීමටත් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට හැකියාව ලැබුණා. ඒ වගේම මැදපෙරදිග යුද්ධයේදී රැකියා අහිමි වුණ මැදපෙරදිග සේවය කළ පිරිසට රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා මැදිහත්වී  වන්දියක් ලබාදෙන්න වැඩපිළිවෙළක් සකස් කර දී තිබුණා.  ඔවුන්ට වෙනත් රටවල සේවාවන් සඳහා යොමු කරන්න රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ ආණ්ඩුවට හැකියාවක් ලැබුණා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට ප්‍රායෝගිකව වැඩ කිරිමේ හැකියාවක් තිබුණා.  කෙසේ නමුත් වර්තමාන ආණ්ඩුවට ප්‍රායෝගිකව වැඩ කිරිමේ නොහැකියාවක් සහ න්‍යායාත්මකවත් ප්‍රශ්නයක් තිබෙනවා.  මෙම අර්බුදය හරහා රටේ මහජනතාව දැඩි ලෙස පීඩාවට පත් වෙනවා. ඒ වගේම ආණ්ඩුව රටට ඉදිරිපත් කරන තොරතුරු පිළිබඳව අවිනිශ්චිභාවයක් තිබෙනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී යම් දෙයක් ප්‍රකාශ කළත් , මැති ඇමැතිවරු යම් දෙයක් ප්‍රකාශ කළත් ජනතාව එය පිළිනොගන්නා තත්ත්වයක් රට තුළ නිර්මාණය වී තිබෙනවා. මෙය අයහපත් ප්‍රවණතාවයක්.

ඛනිජ තෙල් නිතිගත සංස්ථාව තෙල් නැවක් ඇණුම් කරල ද?

සුවස් ඇළ මාර්ගය හරහා රුසියාවට සහ සිංගප්පුරුවට පහසුවෙන් ඛණිජ තෙල් ප්‍රවාහනය කරන්න හැකියාවක් තිබෙනවා. ඔවුන් සමග රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා පවත්වා කඩිනමින් බලශක්ති අර්බුදයට විසඳුම් ගැනිමට හැකියාවක් තිබෙනවා. ඛණිජ තෙල් නීතිගත සංස්ථාව මගින් ඛණිජ තෙල් ගෙන ඒමේදී ගැටලුවක් තිබෙනවා.  දැනට ආර් එම් පාර්ක් සමාගමේ නැවක් ඛණිජ තෙල් සමග පැමිණ තිබෙනවා. සිනොපෙක් සමාගමට අයත් ඛණිජ තෙල් නැවක් පැමිණිමට නියමිතව තිබෙනවා. නමුත් ඛනිජ තෙල් නිතිගත සංස්ථාව තෙල් නැවක් ඇණුම් කරල ද? සමගි ජනබලවේගය බලයේ සිටියා නම් රට තුළ බලශක්ති අර්බුදයක් ඇතිවීමට ඉඩ දෙන්නේ නැහැ.  මිත්‍රශිලි රටවල් සමග තිබෙන සම්බන්ධතා වේගවත් කරගෙන ලබාගැනීමට තිබෙන සහන කඩිනමින් ලබාගන්න හැකියාව සමගි ජනබලවේගයට තිබෙනවා. මැදපෙරදිග යුද්ධයෙන් පිඩා විඳින ශ්‍රී ලාංකිකයන් මුදවා ගන්න වැඩපිළිවෙළක් සමගි ජනබලවේගය ආණ්ඩුබලයේ සිටියා නම් සකස් කරනු ලබනවා. ආදායමට වඩා ඔවුන්ගේ ජීවිත වැදගත් වෙනවා. උද්ධමනය පාලනය කර ගැනීමටත් හැකියාවක් තිබෙනවා.

කෙසේ නමුත් අනුර දිසානායක ජනාධිපතිවරයා විපක්ෂයේ සිටින විට හැසිරුණ ආකාරයට වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හැසිරෙන්නෙ නැහැ. ඔහු නිතරම රජය අපහසුතාවයට පත්වන ආකාරයේ වැඩ කටයුතු සිදුකරන්නේ නැහැ. ඔහු ලබාදෙන සංඥාවන් පිළිබඳව අවදානය යොමු කරන්නැයි සමගි ජනබලවේගය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.''

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න