තෙල් මිලට සහනය ලබා දෙන විට ඉලක්කගතව: සුදුස්සන්ට, අතිමහත් බහුතරයට මේ තෙල් සහනය ලබා දිය යුතු බවත්, කෝටි ප්‍රකෝටිපතියන්ට, උග්‍ර පොහොසතුන්ට මේ තෙල් සහනාධාරය අවශ්‍ය නොවන බවත්, මැදපන්තියේ සිට දුප්පත් පන්තිය දක්වා තෙල් සහනාධාරය ලබා දීමට රජය මුල පිරිය යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ වර්තමානයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරිම සඳහා පැවැති හමුවක් අමතමිනි.
එම හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
මහජන උපයෝගීතා කොමිසමට අනුව ඉදිරි මාසවල විදුලි කප්පාදුවක් සිදුවනවා
''අප රටේ ඇති රජය වැඩිම ප්‍රතිශතයකින් තෙල් මිල වැඩි කරන්න කටයුතු කර ඇති නිසා දැන්වත් මැතිවරණ පොරොන්දුවක් වූ තෙල් මිල අඩු කළ යුතු යි. නොරොච්චොල බලාගාරයේ මාර්තු 22වැනි දා විදුලි උත්පාදනය මෙගාවොට් 180ක් අඩුයි. මෙයට හේතුව ගුණාත්මක භාවයෙන් අඩු බාල ගල් අඟුරු යෙදවීම යි. අන්ත දූෂිත වංචාකාරී ප්‍රෝඩාකාරී ක්‍රියාවට මේ රජය නායකත්වය ලබා දී තිබෙනවා. මේ සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලය සහ විෂය භාර අමාත්‍යවරයා සම්පූර්ණයෙන්ම වගකිව යුතු යි. අඩු විදුලියක් උත්පාදනය කිරිම නිසා මහජන උපයෝගීතා කොමිසමට අනුව ඉදිරි මාසවල විදුලි කප්පාදුවක් සිදුවනවා. එයට හේතුව බලාගාර ගණනාවක් නඩත්තු කටයුතු සඳහා වසා දැමීම යි. මේ දූෂිත ගල් අඟුරු ගණුදෙනුව නිසා සහ බාල ගල් අඟුරු යෙදවීම නිසා මෙසේ උත්පාදනය කළ නොහැකි හිඟ විදුලිය ඉන්ධන බලාගාර හරහා නිපදවීම නිසා විශාල පිරිවැයක් දැරීමට සිදුවීම නිසා මෙසේ සිදුවන පාඩුව හා අලාභාය ගෙවීමට සිදු වන්නේ විදුලි පාරිභෝගිකායට යි. මේ තුළින් තවත් පැහැදිලි වන්නේ ගල් අඟුරු බලාගාරයේ බාල ගල් අඟුරු යෙදවීම නිසා සිදුවන පාඩුව ලක්ෂ75ක් වන විදුලි පාරිභෝගිකයන් ගෙන් පියවා ගැනීමට කටයුතු කිරිම ම අන්ත දූෂිත ක්‍රියාවක්.
භාණ්ඩාගාරයේ ඉතිරි කර ඇති මුදලින් ජනතාව සහන දෙන්න
මේ මොහොත වන විට ඉන්ධන මිල ඉහළ දැමීම නිසා රටේ ම ආර්ථිකය කඩා වැටෙමින් තිබෙනවා. රජය මැතිවරණ සමයේ වූ පොරොන්දු දැන්වත් ඉටු කළ යුතු යි. වරායේ ගොඩබාන මිලට තෙල් දෙන බවත්, තෙල් සඳහා අය කරන බදු ඉවත් කරනවා යැයි කිව්වත් ඒ කිසිවක් මේ වන තෙක් ඉටු කරල නැහැ. කොමිස් මුදල්, වැට් බදු, අධිභාර බදු, රේගු ආනයන බදු ආදිය ඉවත් කිරීම මැතිවරණ පොරොන්දුවක් නිසා ඒවා ඉටු කළ යුතු යි. තෙල් මිල ඉහළ යාම නිසා සෑම ක්ෂේත්‍රයක් ම මේ වන විට කඩා වැටෙමින් පීඩනයට ලක්වෙලා. රජයේ ප්‍රතිපත්තිය ආර්ථික සංකෝචනය කිරීමේ ප්‍රතිපත්ති වීම රටට හනිදායක යි. රටේ ජනතාව ජීවත් වීමට නම් ආර්ථිකය වර්ධනය විය යුතු යි. ඒ සඳහා සෑම ක්ෂේත්‍රයකට ම බලපාන ඉන්ධන මිල නිසි පරිදි කළමනාකරණය කරන්න රජය සහයෝගය දිය යුතු යි. ට්‍රිලියන ගණනාවක් ඉතිරි කර ඇති බව පැවසූ නිසා දැන්වත් මේ මුදල් උපයෝගී කර ගෙන තෙල් මිල අඩු කළ යුතු යි.
රජයට මේ වගකීම්වලින් පැනල යන්න බැහැ
අදටත් ගොවියාට, ධිවරයාට, කර්මාන්තකරුවන්ට සිය කටයුතු සිදු කර ගෙන යාමට අවශ්‍ය පැහැදිලි ප්‍රතිපත්තියක් රජය සකස් කර නැහැ. රජයේ දුර්වලතාව, අකාර්යක්ෂමතාව මත සමාජය කඩා දැමීමට ඉඩ දිය නොහැකි යි. ලක්ෂ 220 ජනතාව ගේ ජිවත් වීමේ අයිතිය රජය බාරගත යුතු යි. විපක්ෂය ලෙස මේ ජනතාව ගේ ජන ජීවිත ශක්තිමත් කිරිම වගකීමක් නිසා රජයට මේ වගකීම්වලින් පැන යන්න විපක්ෂය ඉඩ දෙන්නෙ නැහැ.''

