4D ඇන්ජියෝ CT පද්ධතිය සහිත ඒකකයක් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්ථාපිත කෙරේ

4D ඇන්ජියෝ CT පද්ධතිය සහිත ඒකකයක් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්ථාපිත කෙරේ

ජපන් රජයේ රුපියල් මිලියන 1000 කට අධික මුල්‍ය පරිත්‍යාගයෙන් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ස්ථාපිත කළ අතිනවීන තාක්ෂණයෙන් යුත් 4D Angio CT suite (4D ඇන්ජියෝ CT පද්ධතිය සහිත ඒකකය) සහ අංග සම්පූර්ණ නවීන දන්ත සෞඛ්‍ය ඒකකය (Dental Health Unit) ප්‍රතිකාර සේවා සඳහා එක් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් මෙරට ජපාන තානාපති අකියෝ ඉසෝමාටා (H.E. Akio Isomata) ගේ සහභාගීත්වයෙන් ඊයේ (24) එම රෝහල් පරිශ්‍රයේ දී සිදුකෙරිණ.

මෙම 4D ඇන්ජියෝ CT පද්ධතිය සහිත ඒකකය අති නවීන තාක්ෂණයෙන් යුක්ත වන අතර, මෙරට රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් පද්ධතියේ හෝ දකුණූ ආසියානු කලාපයේ කිසිදු රෝහලක මෙවැනි අති නවීන තාක්ෂණයෙන් යුත් 4D ඇන්ජියෝ CT පද්ධතියක් මෙතෙක් ස්ථාපිත කර නොමැත. මෙම යන්ත්‍රය සඳහා ජපන් රජය වැයකරන ලද මුදල රුපියල් මිලියන 925 කි.

අංග සම්පූර්ණ නවීන දන්ත සෞඛ්‍ය ඒකකය (Dental Health Unit) දන්ත පුටු (Dental chairs) 10කින් සමන්විත වන අතර, මේ සදහා ජපන් රජය වැයකර ඇති මුදල රුපියල් මිලියන 91 කි.

මෙතෙක් රෝහල තුළ දන්ත ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කර නොතිබුණ අතර නව ඒකකය විවෘත කිරීමත් සමග ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ජනතාවට විශාල සහනයක් සැලසෙනු ඇත. මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා ජපන් රජය රුපියල් මිලියන 1016 ක මුදලක් වැයකර ඇත.

මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ මෙම 4D CT ඇන්ජියෝ පද්ධතිය දකුණු ආසියානු කලාපයේම තිබෙන පළමු යන්ත්‍රය බවත්, රජයේ සහ පෞද්ගලික රෝහල් අංශයේ ද තවම පවතින්නේ 3D යන්ත්‍ර බව යි. මෙම යන්ත්‍රය ජයවර්ධනපුර රෝහලේ උරුමයක් වූවත් මෙම යන්ත්‍රය රටට ම හිමිකම ඇති දෙයක් බව ඔහු පැවසී ය.

දකුණු ආසියානු කලාපයටම විශේෂ වූ මෙම 4D CT Angio යන්ත්‍රය භාවිතා කර උපරිම පැය ගණනක් ප්‍රතිකාර සේවයේ යොදවමින් මෙරට රෝහල් පද්ධතියේ තිබෙන ගැටලුවලට විසදුම් ලබා දිය යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා මේ සදහා කාර්ය මණ්ඩලය අවශ්‍ය වේ නම් ලබා දීමට කටයුතු කරන බව ද පැවසී ය. මෙරට රජයේ රෝහල් පද්ධතිය තුළ විශාල වෛද්‍ය උපකරණ ප්‍රමාණයක් තිබෙන බවත්, එම උපකරණ එම ආකාරයෙන් ම භාවිතා නොවන බවත් අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.

රජයත්, විවිධ රාජ්‍යයන් ලබා දෙන අති නවීන තාක්ෂණික උපකරණවලින් උපරිම ප්‍රයෝජන ගෙන මෙරට ජනතාවට උපරිම සේවාවක් ලබා දී පොරාත්තු ලේඛණවල සිටින රෝගීන් ප්‍රමාණය අවම කිරීමට කටයුතු කිරීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වගකීම බව ද හෙතෙම මෙහි දී පෙන්වා දුන්නේ ය.

එමෙන්ම නවිණ තාක්ෂයෙන් යුත් Dental chairs 10කින් සමන්විත ඒකකයක් රෝහලට අද ලැබුණු බවත්, එයින් ද උපරිම ධාරිතාවයෙන් ප්‍රතිකාර සේවාවන් සිදුකරන මෙන් ද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ ය. මෙම රෝහලේ තිබෙන වටිනාකම පිළිබඳව තවමත් මෙරට ජනතාවට නිසි අවබෝධයක් නොමැති බව සදහන් කළ අමාත්‍යවරයා එම වටිනාකම ජනගත කළ හැකිවන්නේ ප්‍රචාරය මගින් නොව සේවාව විධිමත්ව සහ කාර්යක්ෂමව ජනතාවට ලබා දීමෙන් බව ද පැවසී ය. නොමිලේ සේවා සපයන රෝහල් තිබියදීත්, යම් සාධාරණ මුදලක් ගෙවා ජනතාවට ප්‍රතිකාර ලබා ගැනීමට මෙම රෝහල පෙර දවස ගොඩනැගූ බවත් මෙම රෝහල නිර්මාණය කිරීමේ දී පැවති ආර්ථික, ජීවන තත්ත්ව මේවන විට වෙනස් වී තිබෙන බැවින් මෙම ආකෘතිය වැඩිදියුණු කළ යුතු බව ඳ සදහන් කර සිටියේ ය. ඒ වෙනුවෙන් පෙර සකස් කළ පනත ප්‍රමාණවත් නොවන බව පෙනීයන බවත්, එම පනත වෙනස් කිරීමට සූදානම් බව ද අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

අලුත් යුගයට ගැලපෙන පරිදි නීති ඊති වෙනස් කළ යුතු බවත්, නව යුගයට ගැළපෙන පරිදි කාර්ය මණ්ඩලය, නවීණ උපකරණ ද පුළුල් කළ යුතු බව ද පැවසී ය. රෝහලේ ගරුත්වය, අභිමානය ආරක්ෂා කරගනිමින් ‍මෙම රෝහල මෙරට විශිෂ්ට රොහලක් බවට පත් කිරීමට කටයුතු කරන මෙන් රෝහල් කාර්ය මණ්ඩලයෙන් අමාත්‍යවයා මෙහි දී ඉල්ලීමක් ද කළේ ය.

හිටපු ජනාධිපති ජේ.ආර් .ජයවර්ධන මැතිතුමා සහ මෙරට ජනතාවට කරන ගෞරවයක් ලෙස ජපන් රජය මෙම රෝහල පරිත්‍යාග කළ බව සිහිපත් කළ අමාත්‍යවරයා මෙම රෝහල මෙරට ස්ථාපිත රෝහල් සහ සෞඛ්‍ය මධ්‍යස්ථාන 1200කට අධික ප්‍රමාණය අතරින් තවත් එක් රෝහලක්ම පමණක් නොවන බවත්, මෙම රෝහල මෙරට සෞඛ්‍ය පද්ධතියේ පවතින සුවිශේෂී ආයතනයක් බව ද වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය. රෝහලේ නිල වෙබ් අඩවිය ද අමාත්‍යවරයාගේ සුරතින් විවෘත කළ අතර ජපාන තානාපති අකියෝ ඉසෝමාටා (H.E. Akio Isomata) මහතා වෙත සමරු තිළිණයක් ප්‍රදානය කිරීම ද මෙහි දී සිදුකළේ ය.

මෙම අවස්ථාවට: පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර ,මහරගම නගර සභාවේ නගරාධිපති සමන් අමරකෝන්, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් මානගේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ප්‍රියකේ පලිපාන, වෛද්‍ය පශ්චාත් උපාධි පුහුණු ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය සුරංගි යසවර්ධන, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය තමර කළුබෝවිල, අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ධම්මික අලහපෙරුම, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිලා පීරිස් ඇතුළුව විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්,හෙද ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය නියෝජනය කරමින් පිරිසක් ද, මෙරට ජපාන තානාපති කාර්යාලය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක් ද සහභාගි වී සිටියහ.

මාධ්‍ය ඒකකය - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය

nalinda2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න