සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි CIDයට නියෝගයක්

සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි CIDයට නියෝගයක්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අප්‍රේල් මස 22 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

අදාළ නඩුකරය ඊයේ (මාර්තු 26) කැඳවූ අවස්ථාවේ දී කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති කුමාර විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබී ය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී සැකකාර සුරේෂ් සලේ අධිකරණයට ඉදිරිපත් නොකළේ ඇයි දැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසී ය. ඊට ප්‍රතිචාර දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණයට සඳහන් කළේ, සැකකාර සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් භාරයේ පසුවන බව ය.

ඒ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා ඇමතු මහේස්ත්‍රාත්වරයා, "මේ පුද්ගලයා දැන් සැකකරුවෙක්. නිකන් රඳවාගෙන සිටින පුද්ගලයෙක් නෙමෙයි. ඒ නිසා ඔහු අධිකරණයට ඉදිරිපත් කළ යුතු යි," යනුවෙන් සඳහන් කරමින් සැකකරු මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේ ය.

මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය විමසයි

ඉන් අනතුරුව තුන් වන සැකකාර සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල ප්‍රගතිය මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් විමසන ලදී.

ඊට පිළිතුරු දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්, "ස්වාමීනි, පසුගිය නඩු දිනයට පසු දින යුද හමුදා බුද්ධි අංශයේ පිරිසක් මීගමුව ප්‍රදේශයේ සිටින සාක්ෂිකරුවෙකු ගේ නිවසට ගොස් තිබෙනවා. එම සැකකරු මේ වන විට නිවසින් පලා ගොස් වෙනස් ස්ථානයක ජීවත් වෙනවා. මේ සාක්ෂිකරු වෙත සැකකාර සුරේෂ් සලේ විසින් මුස්ලිම් ජාතිකයන් පිරිසක් යොමු කර තිබෙන බව ඔහුගේ කට උත්තරයේ සඳහන් කර තිබුණා. ප්‍රදේශයේ පල්ලි පිළිබඳ තොරතුරු එම මුස්ලිම් ජාතිකයින්ට ලබා දෙන ලෙස සුරේෂ් සලේ දැනුම් දී තිබූ බවත් එම සාක්ෂිකරු තමන්ගේ ප්‍රකාශයේ සඳහන් කර තිබුණා," මේ තුළින් සාක්ෂිකරුවන්ට බලපෑමක් සිදුවී තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා පැවසී ය.

එම අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ, මෙම යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් අදාළ සාක්ෂිකරු ගේ නිවසට ගියේ කිසියම් රාජකාරීමය අවශ්‍යතාවකට දැයි සොයා බලන ලෙස ය. නීත්‍යනුකූල නියෝග මත රාජකාරිමය අවශ්‍යතාවකට ඔවුන් එහි ගොස් තිබුණේ නම් ගැටලුවක් නොමැති බවත් මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ ය.

කෙසේ වෙතත්, සාක්ෂිකරුට බලපෑම් කිරීමේ අරමුණින් එම කටයුත්ත සිදු කර තිබුණා නම් එය අපරාධමය වරදක් බවත්, ඊට අදාළව වහා ම ක්‍රියාමාර්ග ගෙන වගකිව යුතු පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේ ය.

'විමර්ශන මෙහෙයවන්නේ චෝදනාවට ලක්වූ නිලධාරීන්' - විත්තියේ කරුණු දැක්වීම

ඉන් අනතුරුව සැකකාර සුරේෂ් සලේ වෙනුවෙන් නීතිඥ අසිත් සිරිවර්ධන කරුණු ඉදිරිපත් කළේ ය.

"ස්වාමීනි මේක සම්පූර්ණයෙන් ම යුක්තිය අපගමනය වන ආකාරයේ පරීක්ෂණයක්. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයතනය, ඔස්ට්‍රේලියාවේ ෆෙඩ්රල් පොලිසිය මගින් විශේෂ විමර්ශන පවත්වා තිබෙනවා. ඒ සෑම විමර්ශන ආයතනයක් ම ප්‍රකාශ කරලා තිබෙන්නේ අයි.එස්.අයි.එස් සංවිධානය සමග එක්ව ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදී සංවිධානයක් මේ ප්‍රහාරය එල්ල කළ බව පමණ යි. මේ ප්‍රහාරයට මගේ සේවාදායකයා සම්බන්ධ යි කියලා ඒ කිසිදු විදේශීය විමර්ශන ආයතනයක් ප්‍රකාශ කරලා නැහැ. ඊට අමතරව පාස්කු ප්‍රහාරයෙන් පසුව විජිත් මලල්ගොඩ කොමිසම, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති පරීක්ෂණ කොමිසම, පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඇතුළු කොමිෂන් සභා කිහිපයකින් ම විමර්ශන සිදු කරලා තිබෙනවා. ඒ කිසිදු විමර්ශනයකින් මගේ සේවාදායකයාට චෝදනා එල්ල වෙලා තිබුණේ නෑ. ඊට අමතරව ජයකී ද අල්විස් මහත්මිය ප්‍රධානත්වයෙන් යුත් කොමිසමයකින් නිර්දේශ නිකුත් කරලා තිබුණා වර්තමාන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න මහතාට සහ වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගත් අධ්‍යක්ෂ ශානි අබේසේකර යන අයට එරෙහිව අපරාධ නඩු ගොනු කරන ලෙසට. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවැනි අධ්‍යක්ෂවරයෙක් තමයි මගේ සේවාදායකයාට එරෙහිව විමර්ශනයක් කරන්නේ. ඉතිං සාධාරණ විමර්ශනයක් අපේක්ෂා කරන්න පුළුවන් ද? මේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සමක පිළිඅරන් තිබෙනවා තමන් දේශපාලනය කළ බවට. එවැනි පුද්ගලයෙකු ගෙන් සාධාරණයක් අපේක්‍ෂා කරන්නේ කෙසේ ද?" යනුවෙන් නීතිඥ සිරිවර්ධන ප්‍රශ්න කළේ ය.

වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥ අසිත් සිරිවර්ධන, "මාගේ සේවාදායකයාට එරෙහිව මේ වන විට විදේශයක දේශපාලන රැකවරණ ලබා සිටින පුද්ගලයකු චැනල් ෆෝ රූපවාහිනී නාලිකාවට ප්‍රකාශයක් කළා. එම පුද්ගලයා ගෙන් තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් කරගෙන නෑ. ඒ වගේ ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු හංගනවා. ඒ වගේ ම ප්‍රකාශවලට අලුතින් කරුණු එකතු කරනවා. උදාහරණයක් වශයෙන් සඳහන් කරන්න කැමති යි, "හාදියා" නමැති තැනැත්තිය ගේ ප්‍රකාශය ගැන. එම තැනැත්තිය ගෙන් අලුතින් සටහන් කර ගත් ප්‍රකාශයක සඳහන් වෙනවා සාහින්දමරුදු පිපිරීම සිදුවූ අවස්ථාවේ සාරා ජස්මින් ගේ කටහඬ තමන්ට ඇසුණු බවට. ඒත් එම තැනැත්තිය මීට වසර හයකට පමණ පෙර එවක කොටුව මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ රංග දිසානායක මහතාට ප්‍රකාශයක් ලබා දීලා තිබෙනවා. එම ප්‍රකාශයේ එවැන්නක් සඳහන් කර නෑ. මියගිය සාරා ජස්මින් නමැත්තිය ගේ ඩීඑන්ඒ වාර්තා ලබා ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න මහතා ප්‍රකාශයක් ලබා දීලා තිබෙනවා. එම ප්‍රකාශය අධිකරණයට ඉදිරිපත් කර නෑ. එම ප්‍රකාශයේ සිය සේවාදායකයාට වාසිදායක තොරතුරු තිබෙන නිසයි එය අධිකරණයට ඉදිරිපත් කළ නැත්තේ," යනුවෙන් සඳහන් කළේ ය.

විත්තියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි

"ස්වාමීනී..., වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා මගේ සේවාදායකයාට විරුද්ධව සිදු කරන පරීක්ෂණවලින් යුක්තිය අපේක්ෂා කරන්න බෑ. ඒ නිසා මේ පරීක්ෂණය ඔහු ප්‍රධානත්වය නොදරන පොලිසියේ ඕනෑ ම අංශයකට මාරු කරන ලෙස මා ඉල්ලා සිටිනවා," යනුවෙන් විත්තියේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

එම ඉල්ලීම සම්බන්ධයෙන් සිය නියෝගය ප්‍රකාශයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, "මේ නඩුකරයට පාදක වන සිද්ධිය බරපතළ අපරාධයක්. ඒ වගේ ම මේක සංවේදී විමර්ශනයක්. මෙවැනි ඉල්ලීමක් සම්බන්ධයෙන් සලකා බලන්න ප්‍රබල කරුණු ඉදිරිපත් විය යුතු යි. ඒ පිළිබඳව ප්‍රවේශමෙන් සලකා බැලිය යුතු යි. මේ සිද්ධියට අදාළ මුල් විමර්ශනය ආරම්භ කර තිබෙන්නෙත් වර්තමාන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා යටතේ. එනිසා මේ විමර්ශනය වෙනත් අංශයකට මාරු කිරීම් නිසා ප්‍රබල කරුණු අධිකරණයට පෙනී යන්නේ නැහැ," යනුවෙන් පවසමින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේ ය.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, "ස්වාමීනී..., මේක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ගේ අවශ්‍යතාවට ආරම්භ කළ විමර්ශනයක් නෙවෙයි. පාස්කු ප්‍රහාරය සමග සැඟවී තිබෙන තොරතුරු අනාවරණය කර ගැනීමට යි මේ විමර්ශනය ආරම්භ කරලා තිබෙන්නේ. ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරා නොගියේ ඇයි? සිහින්දමරුදු පිපිරීම සිදුවන අවස්ථාවේ නියාස් නමැති යුද හමුදා තොරතුරුකරු වෙඩි තබා ඝාතනය කළ ආකාරයට, බෝම්බ පිපිරිම් සඳහා කොළඹ හා මඩකලපුව තෝරා ගත්තේ ඇයි? යනාදී සංවේදී කරුණු අනාවරණය කරගැනීම සඳහා මේ විමර්ශනය සිදු කරන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා අධිකරණය හමුවේ පැවසීය.

ඊට අමතරව සුරේෂ් සලේ නමැති සැකකරු පසුගිය කාලයේ ආරක්ෂක මණ්ඩලය තුළ මෙම විමර්ශනයට බලපෑම් කරමින් ක්‍රියා කළ ආකාරය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය ලේඛන ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියට අදාළව බ්‍රිතාන්‍යයේ රූපවාහිනී වැඩසටහනකට ප්‍රකාශයක් ලබා දුන් අසාද් මවුලානා නමැති පුද්ගලයා ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ දැයි මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළේ ය.

ඊට පිළිතුරු දෙමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ එවැනි ප්‍රකාශයක් සටහන් කරගෙන නොමැති බව ය.

එම පුද්ගලයා ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම වැදගත් බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා මීළඟ දිනට පෙර එම පුද්ගලයා ගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට උත්සහ කරන ලෙසට නියෝග කළේ ය.

ඊට අමතරව අත්අඩංගුවේ පසුවන සුරේෂ් සලේ නමැති සැකකරු නීතිඥවරුන් හමුවන අවස්ථාවල විමර්ශන නිලධාරීන් ඒ අසල සිටින බවට සැකකරු ගේ නීතිඥවරුන් අධිකරණය හමුවේ දැක්වූ කරුණ කෙරෙහි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමු කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවකු විසින් නීතිඥවරයෙකුට ලබා දෙන උපදෙස් පිළිබඳව අධිකරණයට පවා ප්‍රශ්න කර නොහැකි බව සඳහන් කළේ ය.

ඒ අනුව අදාළ සැකකරු නීතිඥවරු හමුවන අවස්ථාවේ සිදු කරන සන්නිවේදනයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශකයින් සවන් නොදිය යුතු බවත් මහේස්ත්‍රාත්වරයා විසින් කරන ලද නියෝගයේ සඳහන් විය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය භාරයේ පසුවන තවත් සැකකරුවන් දෙදෙනකුට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ඉදිරිපත් කරනවා ද? නැතිනම් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කර සාමාන්‍ය නීතිය යටතේ චෝදනා ඉවත් කරනවා ද? යන කරුණු පිළිබඳව මීළඟ දින අධිකරණය දැනුවත් කරන ලෙසත් මහේස්ත්‍රත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

ඉන් අනතුරුව මෙම සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළ මහේස්ත්‍රාත්වරයා නඩුව යළි අප්‍රේල් මස 22 වන දා කැඳවන ලෙස නියම කළේ ය.

 

මූලාශ්‍ර BBC සිංහල

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න