මෙරට මහජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන්නා වූ සේවා රැසක් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක ගේ නියමය පරිදි, ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක ගේ අත්සනින් යුතුව මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ ය.
අත්‍යවශ්‍ය කළ ප්‍රධාන සේවාවන්:
මෙම ගැසට් නිවේදනය මගින් පහත සඳහන් ක්ෂේත්‍රයන්හි සියලුම සේවා, වැඩ හෝ ශ්‍රම දායකත්වය අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කර ඇත:
බලශක්තිය සහ ඉන්ධන: විදුලි බලය සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන සහ ගෑස් ඇතුළු ඉන්ධන සැපයීම හෝ බෙදා හැරීම.
සෞඛ්‍ය සේවා: රෝහල්, සාත්තු නිවාස සහ බෙහෙත් ශාලාවල රෝගී සත්කාරක කටයුතු, ප්‍රතිකාර සහ ගිලන් රථ සේවාවන්.
ප්‍රවාහනය සහ යටිතල පහසුකම්: මගී සහ භාණ්ඩ ප්‍රවාහන පොදු සේවා, මංමාවත්, පාලම්, ගුවන් තොටුපළ, වරාය සහ දුම්රිය මාර්ග නඩත්තුව.
පරිපාලන සහ ක්ෂේත්‍ර සේවා: සියලුම දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරී, සමෘද්ධි නිලධාරී, කෘෂි පර්යේෂණ සහකාර ඇතුළු ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන්ගේ සියලු සේවාවන්.
මූල්‍ය සේවා: ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම රාජ්‍ය බැංකු සහ රක්ෂණ සේවා.
අත්‍යවශ්‍ය සැපයුම්: ජලය සැපයීම, ජලාපවහනය, ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා හැරීම.
පළාත් පාලන සේවා: කසළ බැහැර කිරීම, ගිනි නිවීමේ සේවා සහ පළාත් පාලන ආයතන මගින් සිදුකරන පොදු සේවාවන්.
වෙනත් සේවා: වාරි මාර්ග, විදුලි සංදේශ, මාධ්‍ය සේවා සහ කෘෂි රක්ෂණ සේවාවන්.
මහජනතාවට බාධාවකින් තොරව දෛනික සේවා ලබා දීම සහතික කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.

