ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, අද වන විට බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් මිල 2.9% කින් ඉහළ ගොස් ඇමරිකානු ඩොලර් 115.84 ක් ලෙස සටහන් වී තිබේ.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාව මෙම මිල ඉහළ යාමට සෘජුවම බලපා ඇත. විශේෂයෙන්ම, පසුගිය පෙබරවාරි 28 වන දින ඉරානය ඉලක්ක කරගනිමින් අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වීමට පෙර, බොරතෙල් බැරලයක මිල පැවතියේ ඩොලර් 72 කට ආසන්න මට්ටමකය.
යුද්ධය ආරම්භ වීමත් සමඟ සැපයුම් දාමයට එල්ල වූ බලපෑම හමුවේ, පසුගිය මාර්තු 19 වන දින තෙල් මිල ඩොලර් 118 ක උපරිම අගයකට ළඟා විය. වර්තමානයේ මිල සුළු වශයෙන් උච්චාවචනය වුවද, එය යුද්ධයට පෙර පැවති මිලට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ යාමකි.
ලෝක බලශක්ති විශේෂඥයන් පෙන්වා දෙන්නේ මැදපෙරදිග දේශපාලනික අස්ථාවරත්වය තවදුරටත් පැවතියහොත් ඉදිරි දිනවලදී ද තෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි. මෙය ගෝලීය ආර්ථිකයට මෙන්ම ආනයනික ඉන්ධන මත යැපෙන රටවලට ද දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.

