මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සුවිශේෂී පියවරක් තබමින්, මීරිගම මූලික රෝහල තුළ ජාතික මට්ටමේ වකුගඩු ගල් සැත්කම් සඳහා ජාතික මට්ටමේ යොමු කිරීමේ මධ්‍යස්ථානයක් “National Referral Center for Kidney Stone Surgery” ස්ථාපිත කිරීමේ "Establishment of a high-volume stone center" ව්‍යාපෘතිය පිළිබඳ
විශේෂ සාකච්ඡාවක් පසුගිය 29වන දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ගේ ප්‍රධානත්වයෙන් රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහිදී සාකච්ඡාවට බඳුන් වූ ප්‍රධාන කරුණු අතර අධි-ධාරිතා ප්‍රතිකාර මධ්‍යස්ථානය "Establishment of a high-volume stone center" ව්‍යාපෘතිය යටතේ නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රතිකාර ඒකකයක් ස්ථාපිත කිරීම, මුළු දිවයිනට ම සේවාව සපයන ජාතික මට්ටමේ වකුගඩු ගල් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස මෙම ඒකකය සංවර්ධනය කිරීම, ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු, නඩත්තුව සහ තිරසාරභාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, පොරොත්තු ලේඛණ අවම කිරීම පිළිබඳ මෙහි දී අවධානය යොමු විය.
මෙම ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය සමිද්ධි සමරකෝන් සහ මහාචාර්ය ශ්‍රීනාත් චන්ද්‍රසේකර යන දෙපළ විසින් ඉදිරිපත් කිරීම් සිදු කරන ලදී.
මෙහි දී අදහස් දක්වමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පෙන්වා දුන්නේ වකුගඩු ගල් සැත්කම් සඳහා යොමු කිරීමේ ජාතික මට්ටමේ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරමින් රෝගී පොරොත්තු ලේඛන අවම කිරීම මෙහි අරමූණ බවයි.
මෙම ව්‍යාපෘතිය මීරිගම මුලික රෝහලට සහ අවට ජනතාවට පමණක් ම නොව ජාතික වශයෙන් මෙරට සියලු ජනතාවට සේවා සැපයිය හැකි ව්‍යපෘතියක් වන බව ද, මෙය ඉක්මනින් ආරම්භ කිරීමට පරිත්‍යාගශීලීන් ද උදව් උපකාර කරනු ඇතැයි රජය බලාපොරොත්තු වන බව ද අවධාරණය කළේ ය.
පසුගිය සමයේ රෝහල්වලට ලබා දී ඇති බොහෝ උපකරණ සහ ගොඩනැගිලි රෝහලට පමණක් සීමා වී තිබෙන බවත්, එමගින් ජනතා සේවයක් සිදු නොවී ඇති බව ද පැවසු අමාත්‍යවරයා අඩක් අවසන් කර තිබූ සංවර්ධන ව්‍යාපෘති රැසක් රජය යටතේ මුල්‍ය ප්‍රතිපාදන වෙන් කරමින් අවසන් කිරීමට පියවර ගෙන ඇති බව ද පැවසී ය.
ගොඩනැගිලිවලින් ලබාදෙන සේවාවන් හොඳ තත්ත්වයෙන් ක්‍රියාත්මක කිරීමට උපකරණ සහ මානව සම්පත පිළිබඳ ගැටලු වන බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා එම අඩුපාඩුව සපුරාලීම වෙනුවෙන් වෙහෙස මහන්සි වී කටයුතු සිදු කරන බව ද පැවසී ය.
බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මිකා ජයලත් ඇතුළු නිලධාරීන් මෙහි දී ව්‍යාපෘතියේ සාර්ථකත්වය උදෙසා සිය අදහස් හා යෝජනා ද කළහ.
මෙම නව ඒකකය ස්ථාපිත කිරීම මගින් වකුගඩු ගල් ආශ්‍රිත රෝගවලින් පීඩා විඳින මෙරට රෝගීන්ට වඩාත් කඩිනම් සහ ගුණාත්මක සේවාවක් ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මීරිගම මූලික රෝහලේ නිරීක්ෂණයක ද නිරත වෙමින් චීන රජයේ ආධාර යටතේ ඉදිකිරීම් කටයුතු අවසන්ව ඇති මහල් 03 කින් යුත් ගොඩනැගිලි සංකීර්ණයේ වත්මන් තත්ත්වයත්, රෝහලේ ශල්‍යාගාර, බාහිර රෝගී අංශය සහ වාට්ටුවල ප්‍රතිකාර සේවාවන් මෙන්ම රෝහලේ ප්‍රතිසංස්කරණ කටයුතු ද මෙහිදී නිරීක්ෂණය කළේ ය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චම්පිකා වික්‍රමසිංහ, මීරිගම රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය චමින්ද ප්‍රේමරත්න, පළාත් සෞඛ්‍ය බලධාරීන් සහ ශ්‍රී ලංකා මුත්‍රා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ (SLUAS) නියෝජිතයින් පිරිසක් ඇතුළු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
මාධ්‍ය ඒකකය - සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය

