රජයේ වගකීම සහ වගවීම වන්නේ යුදමය තත්ත්වය පිළිබඳ පූර්ව සූදානම යි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

රජයේ වගකීම සහ වගවීම වන්නේ යුදමය තත්ත්වය පිළිබඳ පූර්ව සූදානම යි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

මේ වන විට බරපතළ අවදානම් රැසකට රටක් ලෙස මුහුණ දෙන බවත් මැදපෙරදිග යුද්ධය අපේ රටින් පරිබාහිරව සිදු වුවත්, එයට අපට රටක් ලෙස වගකිවයුතු නොවූවත් රජය වගකීම සහ වගවීම සිදු කළ යුතු වැදගත් දෙයක් වන්නේ මේ යුදමය තත්ත්වය ගැන පූර්වයෙන් සූදානම් වීම යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ මොරටුව ප්‍රදේශයේ පැවැති ‘බොරු මදිවට හොරු - අනුර Fail, ජනතාවට අමාරුයි ආර්ථිකය අනතුරේ’ යන තේමාව මුල් කර ගත් සමගි ජන බලවේගයේ මහජන කථිකාව  අමතමිනි.

එම කථිකාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

ලක්ෂ 220ක් ජනතාව අතරමං වෙලා

ඇමෙරිකාව සහ ඊශ්‍රාලය එකට එකතු වෙලා ඉරානයට ප්‍රහාර එල්ල කළේ 2025 ජුනි මාසෙ. රටක් පාලනය කරන විට රජයේ වගකීම වන්නේ රට මුහුණ දෙන අවදානම් තත්ත්වය ගැන පුරෝකථනය කිරීම යි. ට්‍රම්ප්ගේ න්‍යාය තුළ වෙනිසියුලාවට, කියුබාවට වුණ දේ ගැන රජය අවධානයෙන් සිටියා නම් මේ කිසිවක් වෙන්නෙ නෑ. රජය මේවා ගැන නොදැන සිටිය නිසා අද අතරමං වී ඇත්තේ ලක්ෂ 220ක් ජනතාව යි. මේවා දැනගෙන සිට පුරෝකථනය කර මීට වඩා වැඩි සූදානමකින් රට මෙහෙයවීමට හැකියාව තිබුණා. අංගසම්පූර්ණව විසඳුම් දිය නොහැකි වුනත්, මේ අවදානම්වලට සූදානම් වීම කළ යුතු වුනත් රජය කළේ විපක්ෂය මේවා ගැන කියද්දි සමාජ මාධ්‍ය හරහා මඩ ප්‍රහාර එල්ල කිරීම යි. 2019ත් 2024ත් ජයගත්තේ බොරුව සහ රැවටීම යි.

දැන් යේමනයේ හූති සටන්කරුවනුත් මේ යුද්ධයට එකතු වෙලා

හෝර්මූස් සමුද්‍ර සන්ධිය වසා දැමිම නිසා රටට බරපතළ අවදානමක් වන නිසා රජය ගත් පියවර ගැන විදේශ ඇමතිවරයා ගෙන් විමසු අවස්ථාවේ විදේශ අමාත්‍යවරයා ගේ පිළිතුර වුණේ ඒ නිසා අප රටට බලපෑම් නොවන බව වුනත් මේ සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් තෙල්, පොහොර, ගෑස්, ඖෂධ ආදී අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසකට බලපෑම් සිදු වුණා. බොරුවට ආයු කාලය කෙටි බව පෙන්වමින් ජනාධිපතිවරයා ම පාර්ලිමේන්තුවේ දී අපේ සමුද්‍ර ගමනාගමනය ගැන ගිවිසුම් ඇති බව පැවසුවත් යුද සබ්මැරීනයක් ඇවිත් අපේ අනන්‍ය ආර්ථික කලාපයේ ප්‍රහාර සිදු කිරීම මේ ගිවිසුම් කඩ කිරීමක්. මේ ගැනවත් රජයට අවබෝධයක් නැහැ. ඊයේ යුදමය තත්ත්වය උත්සන් වී යේමනයේ හූති සටන්කරුවන් මේ යුද්ධයට එකතු වෙලා ඉරානය වෙනුවෙන් ඊශ්‍රාලයට ප්‍රහාර එල්ල කළා. මේ නිසා හෝර්මූස් සමුද්‍ර සන්ධියට පහළින් ඇති බාබ් අල් මන්දාබ් කියන සමුද්‍ර සන්ධිය බලපෑම් සිදුවනවා. මධ්‍යධරණී, අරාබී, රතු, ඉන්දීය මුහුද ආදී සියල්ල මේ හරහා යා වෙනවා. මේ හූති සටන්කරුවන් මේ යුද්ධයට එකතු වීම නිසා මේ සමුද්‍ර සන්ධියත් වැසී යෑමේ අවදානමක් පවතිනවා. එය අප රටේ යුරෝපා හවුලට යන තේ, ඇඟලුම් ආදී සියලු අපනයනවලට බලපෑම් සිදු වුවත් රජයට මේ ගැන කිසිදු අවබෝධයක් නැහැ.

රජයට හැම දෙයක් ම විහිළු

මා ඇඟලුම් අපනයනකරුවකු නෙවෙයි; නමුත් මා මේ දේවල් පෙන්වා දෙන්නේ දශලක්ෂ ගණනක් වූ ජනතාව ගැන හිතලයි. මේ සමුද්‍ර සන්ධි දෙක මගහැර යෑමට නම් සුබ ප්‍රාර්ථනා තුඩුව හරහා යා යුතු යි. එවිට දින 10-15ත් අතර වැඩි කාලයක් යන නිසා අපනයන තරගකාරීත්වය පහළ ගොස් අප රටේ අපනයනවලට බලපෑම් වෙනවා. මේ නිසා බඩුමිල වැඩි වී, උද්ධමනය වැඩි වී, බෙහෙත් මිල පොහොර මිල වැඩි වී යා හැකි යි. ආර්ථිකයට බරපතළ මරු පහරක් එල්ල වී, විදේශ විනිමය අහිමි වී, සංචිතවලට බලපෑම් එල්ල වී, මේ කලාපයේ සේවය කරන මිලියනයක් පමණ වන අප රටේ විදේශ ශ්‍රමිකයන්ට පවා බලපෑම් සිදුවනවා. රණසිංහ ප්‍රේමදාස මහතා ගේ සමයේ උතුරේ දකුණේ යුද්ධයට අමතරව ගල්ෆ් යුද්ධය තිබිය දී පවා රට සංවර්ධනය කර ජන සවිය, නිල ඇඳුම්, පාසල් සිසුන්ට දිවා ආහාරය, ගම් උදාව ආදිය ක්‍රියාත්මක කරන ගමන් කුවේට් සිට යුද්ධය නිසා අසරණ වී අප රටට පැමිණි අයට වන්දි පවා දුන්නා. මෙවැනි අවදානම් තත්ත්වයක් හමුවේ මේ රජයට නම් ප්‍රශ්නවලට මුහුණ දෙන්න නොහැකි යි. දිට්වා සුළි කුණාටුවෙන් පසු විපක්ෂය විසින් රට ගොඩනගන්න ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන්න යැයි කිව්වත් රජය එයට ද 'අනේ ප්ලීස්' යැයි කියමින් විහිළු සැපයුවා. මේ ආධාරක සමුළුව කැඳවීම පරක්කු කිරීම නිසා දැන් එය හරියට කළ නොහැකි යි. මේ වන විට රටවල් යුද්ධය නිසා විපතට පත්ව තිටබනවා.

අප රටට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා අවම යි

ආර්ථව දරිද්‍රතාව ගැන කියද්දි නිළියන් පවා උපයෝගී කර ගෙන මඩ ගැහුවත් අද එය නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වෙනවා. කාලයක් යද්දි සත්‍ය ජය ගැනීම සිදුවනවා. මේ සනීපාරක්ෂක පහසුකම් පාසල්වලට පමණක් නොව රට ම ආවරණය වන ආකාරයට සිදුවිය යුතු යි. මේ සත්‍ය යථාර්ථයක් කළ හැක්කේ සමගි ජන බලවේගයට පමණයි. මේ වන විට අප රටට රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා අවම යි. ඉන්දියාවේ අගමැතිවරයා සෘජුව ම ඉරානයට කතා කර ඉන්දියාවට අවශ්‍ය ඉන්ධන හා ගැස් ලබා ගන්න සාකච්ඡා කළා. ඉන්දියාව සහ පකිස්ථානය ගැටුම් තිබුණත් මේ අවස්ථාවේ තම රටවල් වෙනුවෙන් වැඩ කරන විට අප රටට තවමත් සැලසුමක් නැහැ.

නොරොච්චෝල බලාගාරයේ නියමිත විදුලි උත්පාදනය සිදු වෙන්නෙ නැහැ

මැදපෙරදිග යුද්ධය නිසා මිල ඉහළ ගිය නිසා සෑම භාණ්ඩයක ම, සේවාවක ම මිල ඉහළ දාන්න රජය සිතනවා. මෙවැනි දේවල් කියන රජය ම බාල ගල් අඟුරු ගෙනවිත් ඒ වංචාවත් යුද්දය නිසා යැයි කියමින් ජනතාව කරපිට පටවන්න යනවා. සමගි ජන බලවේගය මාස ගණනාවක් පුරා මේ ගැන රටට හෙළිදරව් කළත් රජය තවමත් විධිමත් පියවර ගෙන නැහැ. මේ නිසා නොරොච්චෝල බලාගාරයේ නියමිත විදුලි උත්පාදනය සිදු වන්නෙ නැහැ. පුරවැසියන් ලෙස මේ ගැන දැනුවත් විය යුතු යි. දත්ත හා තොරතුරු කේන්ද්‍රීයව ප්‍රතිපත්ති සම්පාදනය විය යුතු වුවත් අද එවැනි දෙයක් සිදු වන්නෙ නැහැ.

ජනතාවට සහන පැකේජයක් හඳුන්වා දෙන්න

මහජන උපයෝගීතා කොමිසම පවා කියන ආකාරයට මේ ගල් අඟුරු බාල බවට ලිඛිත වර්තාවක් පවා ඉදිරිපත් කර තිබෙනවා. මේ වාර්තාව අනුව සම්පූර්ණ ජනන ධාරිතාව මේ බාල ගල් අඟුරු නිසා ලබා ගත නොහැකි බවට සඳහන් වෙනවා. රුසියානු ගල් අඟුරු තත්ත්වයෙන් උසස් වුවත් දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ බල ගල් අඟුරුවල ගුණාත්මකභාවය අඩු යි. මේ නිසා අප්‍රෙල් ජුනි ජූලිවල මේ බලාගාර නඩත්තුවට වැසූ පසු විදුලි කප්පාදුවක් සිදු කිරීමට නියමිත යි. පොහොර ගැටලුව විසඳන්න පොහොරවලට ගසා ඇති වැට් එක ඉවත් කිරීමත් පොහොර සහනාධාරය වැඩි කිරිමත් රජය කළ යුතු යි. ඊට අමතරව මහාභාණ්ඩාගාරයේ ඇති අතිරික්ත මුදල් උපයෝගී කර ගෙන රටේ ජනතාව මත ඇති බදු බර ඉවත් කර ජනතාවට සහන පැකේජයක් හඳුන්වා දිය යුතු යි. විදුලිය ඉන්ධන මත ඇති බදු බර අඩු කර ජනතාවට සහන දිය යුතු යි. එය වත්මන් රජයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ පවා සඳහන් වෙනවා.''

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න