බදු ගෙවිය යුතු සියලු දෙනා නිසි ලෙස බදු දැලට ඇතුළත් කර ගනිමින් බදු පදනම (Tax Base) පුළුල් කිරීම රජයේ මූලික උපායමාර්ගය යැයි ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 94 වන සංවත්සරය නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි.
නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර සඳහන් කළේ, බදු ගෙවිය යුතු සියලු දෙනා නිසි ලෙස බදු දැලට ඇතුළත් කර ගනිමින් බදු පදනම (Tax Base) පුළුල් කිරීම රජයේ මූලික උපායමාර්ගය බවයි. එමඟින් බදු අනුකුලතාව ඉහළ නංවා, අනාගතයේ දී දැනට පවතින බදු අනුපාත (Tax Rates) තවදුරටත් පහත හෙළීමට රජය සුබවාදීව බලාපොරොත්තු වන බව ද ඔහු අවධාරණය කළේ ය.
"වසර 94 ක අභිමානය - Taxes - for a Better Future" යන තේමාව යටතේ පැවැත්වෙන මෙම සංවත්සරයේ දී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වර්ෂය ශ්‍රී ලංකා බදු ඉතිහාසයේ සුවිශේෂී වසරක් වූ බවත්, එහි දී ඉතිහාසයේ ඉහළම බදු ආදායම වාර්තා කිරීමට හැකි වූ බවයි. මෙම ජයග්‍රහණය රටේ මූල්‍ය ස්ථාවරත්වය උදෙසා තැබූ දැවැන්ත පියවරක් බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
රජය සහ පුරවැසියා අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය ආර්ථික සංවර්ධනයේ පදනම බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරයා: මහජනතාව ලබාදෙන බදු මුදල් පාසල්, රෝහල් සහ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ප්‍රායෝගිකව ආයෝජනය වන ආකාරය රජය පෙන්වා දී ඇතැයි පැවසී ය. රජයේ අවසාන අරමුණ වන්නේ මහජනතාව ස්වේච්ඡාවෙන් බදු ගෙවීමට පෙලඹෙන පරිවර්තනීය ජාතික බදු සංස්කෘතියක් මෙරට තුළ ස්ථාපිත කිරීම යැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ ය.
මෙම ආර්ථික පරිවර්තනයේ නියමුවන් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ව වෘත්තීයමය සහ තාක්ෂණික වශයෙන් සවිබල ගැන්වීමට රජය ප්‍රමුඛතාවය ලබා දෙන බව ද අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේ ය. වසර 94ක් පුරා ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායක වූ නිලධාරීන්ට සහ තම යුතුකම ඉටුකරන සියලුම බදු ගෙවන්නන්ට මෙහි දී අමාත්‍යවරයා ගේ ගෞරවය හිමි විය.
ජේ.මුණසිංහ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
