Image

පිල්ලෙයාන් අද අධිකරණයට

පිල්ලෙයාන් අද අධිකරණයට

නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවින්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තමිල් මක්කල් විඩුතලෙයි පුලිකල් (TMVP) පක්ෂයේ නායක ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්, අප්‍රේල් 02 ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය

2025 අප්‍රේල් මස 08 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඔහුව අත්අඩංගුවට ගත් අතර, ඒ අනුව අද දින අධිකරණයට ඉදිරිපත් කරන විට ඔහු දින 359ක් රඳවා තබාගෙන ප්‍රශ්න කර තිබීම විශේෂත්වයකි.

එලෙස රඳවා තබාගැනිමට සිව් වතාවක් ඔහුට රැඳවුම් නියෝග ලබාගෙන තිබුණි. සිව්වැනි රැඳවුම් නියෝගය අප්‍රේල් 03 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණි.

මෙම විමර්ශනවලට සමගාමීව, බ්‍රිතාන්‍යයේ චැනල් 4 (Channel 4) නාලිකාව මඟින් විකාශය කරන ලද වාර්තා වැඩසටහනකින් එල්ල වූ බරපතළ චෝදනා සම්බන්ධයෙන් ද පිල්ලෙයාන්ගෙන් ප්‍රශ්න කර ඇත. පිල්ලෙයාන්ගේ සමීපතමයකුව සිටි අසාද් මවුලානා විසින් කරන ලද හෙළිදරව්වට අනුව, 2019 පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය මෙහෙයවූ කණ්ඩායම සහ මෙරට බුද්ධි අංශ ප්‍රධානීන් අතර සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීමට සහ ඔවුන් අතර හමුවීම් සැලසුම් කිරීමට පිල්ලෙයාන් මැදිහත් වූ බවට චෝදනා එල්ල වී තිබුණි. මෙම ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලය පුරා ඔහුගෙන් කරුණු විමසා ඇතැයි වාර්තා වේ.

පිල්ලෙයාන් මීට පෙර ද දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසර කිහිපයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියේය. 2005 වසරේ නත්තල් දින මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේ පැවති මධ්‍යම රාත්‍රී දේව මෙහෙය අතරතුර පරරාජසිංහම් මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පිල්ලෙයාන් 2015 වසරේදී අත්අඩංගුවට ගැනුණි. කෙසේ වෙතත්, වසර පහකට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටි ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ අධිචෝදනා පවත්වාගෙන නොයෑමට තීරණය කිරීමත් සමඟ, 2021 ජනවාරි මාසයේදී මඩකලපුව මහාධිකරණය මගින් ඔහු නිදහස් කරනු ලැබීය.

Tharindu Uduwaragedara

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න