Image

ආනන්ද වක්කුඹුර සහෝදරයා සිය 85වන උපන්දිනය සමරයි

ආනන්ද වක්කුඹුර සහෝදරයා සිය 85වන උපන්දිනය සමරයි

ආනන්ද වක්කුඹුර සහෝදරයා පසුගිය දා සිය 85වන උපන්දිනය සැමරුවේය!

විශ්වවිද්‍යාල ජීවිතයෙන් පසු සම්භාව්‍ය මාක්ස්වාදියකු සහ ට්‍රොට්ස්කිවාදියකු ලෙස ගෙවුණු දීර්ඝ අවුරුදු 60ක කාලයක් ඔහු කැප කළේ ජාත්‍යන්තර කම්කරු පංතියේ ලෝක විප්ලවය සාක්ෂාත් කර ගැනීමට ය. නමුත් ලෝක විප්ලවය වෙනුවට 1985 දී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ අභ්‍යන්තර තාක්ෂණික දෝෂයක් ලෙස මා මෙලොවට බිහි විය. (සරලව, නිරන්තර විප්ලව න්‍යාය හරහා නිර්ධන පංතියේ ආඥාදායකත්වය වෙනුවට බිහි වූයේ වසන්ත වක්කුඹුර ය.)

විසිවන සියවසේ අවසාන කාර්තුව තුළ ලෝකයේ සිදු වූ වඩාත්ම වැදගත් සිද්ධීන් තුන මෙසේ දැක්විය හැකි ය.
1.බර්ලින් තාප්පය (1989) සහ සෝවියට් සමූහාණ්ඩුව (1991) බිඳ වැටීම
2. ලැක්ලෝ සහ මූෆ් "හෙජමොනිය සහ සමාජවාදී උපායමාර්ගය" නමැති කෘතිය රචනා කිරීම (1985)
3. වසන්ත වක්කුඹුර ගේ උපත (1985)

ට්‍රොට්ස්කිවාදීන් ගේ පංති මූලිකවාදය තවදුරටත් වලංගු නැතිබව පැහැදිලි කරමින් ලැක්ලෝ සහ මූෆ් "හෙජමොනිය සහ සමාජවාදී උපායමාර්ගය" නමින් පිටු 200ක පොතක් ලියන්නේත් මා ඉපදුනු 1985 වසරේ දී ය. මාගේ උපත නිසා ආනන්ද වක්කුඹුර සහෝදරයාට මෙම කෘතිය අවාසනාවන්ත ලෙස මග හැරේ. සමහර විට මා නොඉපදුනා නම් ආනන්ද වක්කුඹුර සහෝදරයාට 1985 දී මා වෙනුවට "හෙජමොනිය සහ සමාජවාදී උපායමාර්ගය" කෘතිය හමු වන්නටත් ඉඩ තිබුනි. මා ඉපදෙන විට ආනන්ද වක්කුඹුර සහෝදරයාට වයස අවුරුදු 40කි. ඔහුට අවුරුදු 85 ලබන 2026 වන විට මට ද වයස අවුරුදු 40කි. මා "හෙජමොනිය සහ සමාජවාදී උපායමාර්ගය" කෘතිය කියවන්න පටන්ගන්නේ දැන් ය.

අපගේ පවුල තුළ "හෙජමොනිය" නිර්මාණය කිරීමට ට්‍රොට්ස්කිවාදයට හෝ සම්භාව්‍ය මාක්ස්වාදයට නොහැකි විය. එමගින් අප හට උරුම වූයේ කැබළි වූ විසිරුණු අවමංගත ජීවිතයකි. දැන් නැවතත් ඉතිහාසය පටන් ගත් තැනටම පැමිණ තිබේ. වෙනස, පියා 1985 දී නොකියවූ කෘතිය පුතා 2026 දී කියවන්නට පටන් ගැනීම ය.

මාගේ වැඩිහිටි ජීවිතයෙන් වැඩි කාලයක් මා කැප කර ඇත්තේ පියා ගේ සහ ඔහු ගේ දේශපාලන ව්‍යාපාරයේ විනාශය ගැන සිහින මවන ෆැන්ටසියක් තුළ ය. නමුත් ජීවිතයේ එක්තරා මොහොතකින් පසු, එය ශිෂ්ටත්වයේ සිහිනයක් වෙත ඉතා අසීරුවෙන් මාරු වී ඇත. ඉතින්, තවමත් ප්‍රමාද නැත...

පියාණනි, ඔබට සුභ උපන්දිනයක්!

(විමුක්තිය ඇත්තේ, අපගේ අපරිමිත බව තුළ නොව අපගේ පරිමිත බව වටහා ගන්නා ක්ෂේත්‍රය තුළ ය. - දීප්ති කුමාර ගුණරත්න)

වසන්ත වක්කුඹුරවසන්ත වක්කුඹුර

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න