Image

සම්මාන යනු ප‍්‍රසිද්ධියේ ලබාදී, ලිපියක් යවා අයිති නැති බව දැන්වීම ද...?

සම්මාන යනු ප‍්‍රසිද්ධියේ ලබාදී, ලිපියක් යවා අයිති නැති බව දැන්වීම ද...?

පසුගියදා රයිගම් සම්මාන උළෙල ඉවරවුණා. සම්මාන ගත් අය සතුටින් විසිර ගියා.

 'පසු කතා' ඕනෑම සම්මාන උළෙලකට පස්සෙ තිබෙනවා සහ ඇති වෙනවා වගේ නැති වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්.

ජනප‍්‍රිය සම්මාන, විනිශ්ච මණඩල සම්මාන කියලා කොටස් තිබුණා. ජනගත සම්මාන කියලා එකකුත් තිබුණා. විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ප‍්‍රමුඛ පිරිසක් විසින් සමීකක්‍ෂණය කරන ලද අධීක්‍ෂණය කරන ලද මේ මොහොත වනවිට රයිගම් ටෙලි නාට්‍ය සම්මාන ප‍්‍රදානයේ දී දර්ශන රුවන් දිසානායක ගේ සම්මානය ට හිමිව තිබූ තෑගි, නිල චෙක් පත් සහ තෑගි වව්චර සඳහා සුදුසුකම් ලබා නොමැති බව දන්නවා ලිපියක් යවා තිබෙනවා.

රුපියල් ලක්‍ෂයක් පනස් දහසක් හෝ විසිපන්දහසක් වැනි යම් මුදලක් ඒ සියල්ල තුළ තිබෙන්න ඇති.

කොන්දේසි සහිත අයැදුම්පත

සම්මාන උළෙලක් තුළ කලාකරුවෙකු මේ තරම් නොසලකා හරින බවක් ඇසීමට දැකීමට ලැබීම කොයිතරම් කනගාටු දායක දැයි හිතෙනවා. දර්ශණ රුවන් දිසානායක ට පමණක් වන දෙයක් නොවන බව මෙයින් පැහැදිළිවි පේනවා.

කොන්දේසි අයැදුම් පතක පනවා තිබීම ද අපූරුයි.

එය නව්‍ය කරණයේ අපූර්වත්වයක් විය යුතුයි.

සම්මානය ගැනීමට නොපැමිණිමේ හේතු සහ දර්ශනගේ අදහස් සමාජ මාධ්‍ය වෙත සඳහන් කර තිබුණා.

උපුටාගැනීම

"ඉරගිනි මද්දහන්න ටෙලිනාට්‍යය වෙනුවෙන් නිර්මාණය කළ සංගීතය සඳහා ලැබුණු රයිගම් සම්මාන ත්‍යාගය උළෙලට සහභාගි නොවීම නිසා එම ආයතනය විසින් අවලංගු කිරීම.

මුලින්ම මට ලැබුණු සම්මානය ලබාදීමට මේ රයිගම් සම්මාන උළෙලේ සංගීතය සම්බන්ධව කටයුතු කළ විනිශ්චය මණ්ඩලයට මගේ ස්තුතියි පුද කරමි. දැන් මම මේ සටහන පටන් ගන්නම්. පළමුවෙන්ම කියන්න ඕන මේ කියන ආකාරයේ සම්මාන උළෙලට කලින් මට එවන ලද හෝ මා සම්බන්ධ වී ගිවිසුම් ගත් කොන්දේසි ලිපියකට මම අත්සන් කර නැති බව. අනික සහභාගි නොවෙන්නට හේතු ඕනෑම කලාකරුවකුට ගොඩක් තියෙනවා. ඒ වෙනුවෙන් වගකිවයුතු පුද්ගලයෙක් යොමු කිරීමයි වටින්නේ. ඒක මම කළා. එතකොට දැන් ආයතනය තීරණය කළ සම්මානය හෝ අදාළ ත්‍යාග මම සහභාගී නොවීම නිසා බල රහිත වෙනවද ?උත්තර දෙන්න ඕනේ එයාලම තමයි.

ඒ වගේම කිව යුතුයි එහෙම කොන්දේසි සහිත සම්මාන උළෙලවල් මීට පෙර මේ පෘතුවි ග්‍රහලෝකයේ මම අහලා දැකලා නැති බව. ඒ වගේම එදා රයිගම් සම්මාන උළෙලේ වේදිකාවට නොගිහින් සම්මාන ලබපු අය තවත් ඉන්නවා. ඒ බොහෝ අයගේ සම්මාන ගත්තේ වෙනත් අය. මම දන්නෑ මේ රයිගම් තීරණය ඒ හැම කලාකරුවෙකුට ම පොදු ද කියලා. එහෙමනම් ඒ හැමෝමත් වෙනුවෙන් ද මේ සටහන ලියමි.

විශේෂයෙන් කලාකරුවන් සම්මාන උළෙල පවත්වා හෑල්ලුවට ලක් කිරීමට එරෙහිව පුංචි හෝ පණිවිඩයක් ජනතාවට දීම උදෙසා ද මේ සටහන තබමි. කෙසේ නමුත් රයිගම් සම්මානය ලද පසු මට අද එක පාරටම whatsapp හරහා ලැබුණු ලිපිය මා පහත පළ කරන්නම්.

ඔය සම්මාන උළෙල තිබුන දවසේ මට යම් අසනීප තත්ත්වයක් නිසා වෛද්‍යවරයෙකු හමුවීමට යාමට සිදුවීම නිසා සහභාගිවීමට නොහැකි විය. ඒත් ඒ සඳහා මගේ දියණිය ගොස් සහභාගී වී මේ සම්මානය ලබාගත්තා. දැන් මේ කියන විදියට සම්මානය ද වලංගු නැති ආකාරයකි මට හැඟුණේ.

මේ සඳහා වූ කරුණු කාරණා බොහොමයක් පෙර සිටම මම දනිමි. අතීතයේ මෙවැනි සම්මාන උළෙලවල ඕනෑ තරම් ඒ කලාකරුවා වෙනුවෙන් බිරිඳ හෝ දරුවන් නොමැති නම් කලා නිර්මාණයට සම්බන්ධ කවුරු හෝ ලබාගන්නවා. ලෝක පූජිත සම්මාන උළෙලවලත් ඒක ඒ විදිහට වෙනවා.

ගිය වරක් මම මෙම සම්මාන උළෙලට සහභාගි වුණා.ඊට පෙරත් මම සහභාගි වුණා. මේ කියන විදිහට සම්මානයද නැවත ඔවුන් භාරගත යුතුයි. හැබැයි ලංකාවේ සියලු ම කලාකරුවන් වෙනුවෙන් මම මෙම සටහන තියන්නේ මෙවැනි බාල බොළඳ සම්මාන උළෙල තියෙනවාට වඩා හොඳයි නොතිබ්බා නම් කියලා. මට තිබුණා දියණියත් නොයවා එතන හිටපු අධ්‍යක්ෂකවරයාට මේ සම්මානය ගන්න කියලා කියන්න. හැබැයි මම එහෙම කළේ නැත්තේ සම්මානය ලැබුණොත් එහි ගෞරවය තියන්න ඕන නිසා. මම හිතුවා ඒක එහෙමනම් ඉදිරි සියලු රයිගම් සම්මාන උළෙලවල් සඳහා සහභාගි නොවන්නට.

මගේ ටෙලි නාට්‍ය ඕනෑ තරම් ඉදිරියට එනවා. ඔන්න මං අද කිව්වා කියලා හිතන්න ඉදිරියට එන ටෙලිනාට්‍යවල සම්පූර්ණයෙන් ම රයිගාම් සම්මාන උළෙලෙන් ඉවත් වන්නට ඉඩ තියෙයි.

මේක සම්මාන උළෙලක්ද නොමැති නම් කලාකරුවන්ගෙන් පළි ගැනීමේ උළෙලක් ද? දැන් එයාලා හිතන විදියට මගේ ඉදිරි කලා ගමන නවතීවි. අවසාන වශයෙන් ඔය සම්මාන උළෙලට කියන්න ඕන සම්මාන නම් ඕනෑ තරම් මට ලැබී ඇත. තවත් ඉදිරියටත් ලැබෙනු ඇත.

ගියවරත් උන සිද්ධිය මට දැනුණා. ඉදිරි පරම්පරාවට ඇගයීම් සම්මාන ලැබිය යුතුයි. නමුත් ඒක ගෞරවනීය සම්මාන උළෙලවලින් ලැබෙනවා නම් තමයි හොඳ. එන්න එන්නම එවැනි සම්මාන උළෙල මෙවැනි ආදර්ශ තුළින් පරිහානියට පත් වනු ඇත. මේ මුදල් නම් අවශ්‍ය නැත. නමුත් මේ දුන් ආදර්ශය ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රයටම විතරක් නෙමෙයි කලාකරුවන්ට ද මහත් අවමානයකැයි මම පෞද්ගලිකව සිතමි.

මෙවැනි දිහා බලාගෙන සතුටු වන ඒවාටම කත් අදින ම්ලේච්ඡ ව්‍යාජ කලාකරුවන්ට නොවෙයි මේ සටහන ඇත්තටම හදවතින් කලාව කරන සංවේදී හැබෑම දක්ෂ කලාකරුවන් සමස්තය වෙනුවෙනුයි."

උපුටාගැනීම අවසන්

දර්ශණ රුවන් දිසානායක 00

කලාකරුවන්ට බොහෝ අවස්ථාවල විවිධ ආයතන නිෂ්පාදකවරුන් සහ විවිධ අය විසින් විවිධ අසාධාරණකම් අවලාද නැගීම් ආදී විවිධ අකටයුතුකම් සිදුවුව ද ඒවාට කිසිඳු කලාකරුවකු ඒ සම්බන්ධව කතාකරන්නට අදහස් ප‍්‍රකාශ කරන්නට අකමැතිය. සමහරු ප‍්‍රකාශ කරන්නෙ "අනේ ඕවා ට කතා කරනවට වඩා හොඳයි පාඩුවෙ වැඩක් කරගෙන ඉන්න එක" ආදී වශයෙනි.

කලාකරුවන් ඇගයීම ද, ව්‍යාපාර අරමුණු ද...?

කෙසේවුවද දර්ශන ගේ මේ සටහන තුළින් කරනු ලබන මැදිහත්වීම පිළිබඳ බුද්ධිමත්ව සිතා බැලිය යුතුය.

ලංකාවේ මේ මොහොත වනවිට මාසෙන් මාසෙට විවිධ වෙළඳ නාම යටතේ සම්මාන උළෙල තබයි. මේ ආකාරයෙන්: ටෙලි නාට්‍ය, සංගීත, සිනමා ආදී ක්ෂේත‍්‍රවල නියුතු අය වෙනුවෙන් සම්මාන උළෙල සංවිධානය කරන්නෙ ඇගයීමට ලක් කිරීමට වඩා ඔවුන් ගේ ව්‍යාපාර අරමුණු වෙනුවෙනි. මේ හේතුවෙන් සම්මාන යනු අද ඔ්නෑ තරම් එකතු කර ගත හැකි මිලදී ගත හැකි භාණ්ඩයක් බවට පත්ව ඇත.

රයිගම් සම්මාන උළෙල පිළිබඳ වරින් වර විවිධ කතා ඇතිවුව ද එය දශක දෙකකට වැඩි කාලයක් පුරා පවත්වන්නේ ටෙලි නිර්මාණ ක්ෂේත‍්‍රයේ බොහෝ දෙනාගේ ආශාවේ බලාපොරොත්තු දල්වමිනි. සම්මානයක් ලැබීම වටිනාකමක් එකතු වීමකි. නමුත් ඒ සම්මාන ලැබීමේ, සම්මානය දීමේ ගෞරවය ද තිබිය යුතුය.

කෙසේ වුවත් දර්ශණට සිදුවූ සහ එලෙසම එලෙස යම් අසාධාරණයක් සිදුව ඇති අය පිළිබඳව කනගාටු වීම හැරුණ විට වෙන කළ හැකි යමක් නැත. සම්මාන දෙනු ලබන සමාගම් හෝ නිෂ්පාදන භාණ්ඩ බාවිතා නොකරණ බැවින් අපි ඒ වෙළඳ භාන්ඩ වර්ජනය කරනවා හෝ මින් මතු මිළදී ගන්නෙ නැත වැනි කතා කීමටද නොහැකි ය.

සම්මානයක් යනු වටිනාකමකි. එය නිසි ගෞරවයකින් යුතුව ලබාදෙන්නට සංවාධායකයින් වගබලා ගත යුතු ය. මන්ද වෙළඳ ව්‍යාපාරික සමාගම්වලට වඩා ජනතාව වඩාත් ආදරය කරන්නෙ ගෞරව කරන්නෙ නිර්මාණකරුවන්ට ය. එහෙමත් නැතිනම් කලාකරුවන්ට ය.

ඔවුන් ට මිනිස් ජන විඥානය තුළ ඇත්තේ ආදරයකි. ගෞරවයකි. ආශාවකි. කැමැත්තකි.

manohariමනෝහාරි හේවාවසම්

 

 

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න