ගල් අඟුරු ගෙන්වීම සඳහා ටෙන්ඩරය ලබා දුන් ට්‍රයිඩන් චැම්පර් නැමැති ආයතනය අගෝස්තු මාසයේ 18වන දා ටෙන්ඩරය කැඳවන විට ලියාපදිංචි වී නොතිබුණ සමාගමක් යැයි විගණන වාර්තාවලින් ඔප්පු වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ ඊයේ (08) පැවැති මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ එස්. එම්. මරික්කාර්...
ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය වාර්තාවක්
''ගල් අඟුරු ගෙන්වීම හරහා රටට විශාල පාඩුවක් සිදුවුණ බවත් ඒ හරහා විදුලි පාරිභෝගිකයන්ට දැඩි අසාධාරණයක් සිදුවන බවත් දිගින් දිගටම සමගි ජනබලවේගය කරුණු ඉදිරිපත් කරන්න කටයුතු කරනු ලැබුවා. යටිතල පහසුකම් සහ උපායමාර්ගික අධීක්ෂණ කාරක සභාවට ලංකා ගල් අඟුරු සමාගම ඇතුළු ආයතන කැඳවා දත්ත කරුණ සහිතව හෙළි කරන්න කටයුතු කරනු ලැබුවා. කෙසේ නමුත් සමගි ජනබලවේගය අසත්‍ය ප්‍රචාර කරන බවට ආණ්ඩුවට හිතවත් පිරිසක් චෝදනා රැසක් එල්ල කරනු ලැබුවා. ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් සමගි ජනබලවේගය ඉදිරිපත් කරන කරුණු අසත්‍ය බවත් ආණ්ඩුව සමගි ජනබලවේගයට චෝදනා එල්ල කරනු ලැබුවා. නමුත් ආණ්ඩුව සිදුකළ ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය වාර්තාවක් නිකුත් කර තිබෙනවා.
ගල් අඟුරු පරික්ෂාව නුසුදුසු ආයතන දෙකකින්
විගණකාධිපතිවරයා ගේ වාර්තාව අනුව ගල් අඟුරු ගෙන්වීම සඳහා ටෙන්ඩරය ලබා දුන් ට්‍රයිඩන් චැම්පර් නැමැති ආයතනය අගෝස්තු මාසයේ 18 වැනිදා ටෙන්ඩරය කැඳවන විට ලියාපදිංචි වී නොතිබුණ සමාගමක්. කෙසේ නමුත් අගොස්තු 19 වැනිදා කුරියයර් සමාගමක් හරහා ට්‍රයිඩන් චැම්පර් සමාගමට ලංසු ලේඛනය යවා තිබෙනවා. ට්‍රයිඩන් චැම්පර් සමාගම ගෙවිය යුතු ඩොලර් 5000 ක මුදල අගෝස්තු මාසයේ 22 වැනිදා කුවිතාන්සියකින් යවා තිබෙනවා. මේ සියල්ල විගණන වාර්තාවේ සඳහන් වෙනවා. ශ්‍රී ලංකාවට ගල් අඟුරු පැමිණෙන්නේ දකුණු අප්‍රිකාවෙන්. ඒ අනුව දකුණු අප්‍රිකානු වරායකින් ගල් අඟුරු නැව් පිටත් වුණ බවට වන වාර්තාව ලැබිය යුතුයි. නමුත් ඉන්දුනිසියාවේ ආයතනයකිනුයි එම වාර්තාව ලැබි තිබුණේ. ඉන්දුනිසියාවේ දී පරික්ෂා කරන්නේ දකුණු අප්‍රිකාවෙන් නැව්ගත කරන ගල් අඟුරු ම දැයි යටිතල පහසුකම් සහ උපායමාර්ගික අධීක්ෂණ කාරක සභාවට විමසා සිටියා. කෙසේ නමුත් දකුණු අප්‍රිකානු සමාගම සහ ඉන්දුනිසියානු සමාගම ගල් අඟුරු පරික්ෂා කිරිමට සුදුසු නොවන ආයතන බව වාර්තා වී තිබෙනවා. 2026 මාර්තු 31 වැනිදා වනවිටත් ගල් අඟුරු පරික්ෂා කළ මෙම ආයතන සුදුසුකම් නොලැබූ සමාගම් බව විගණන වාර්තාවේ සඳහන් වෙනවා. ඒ වගේම ගල් අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳව ඉන්දියානු සමාගමකින් වාර්තාවක් ගන්නා බව ආණ්ඩුව ප්‍රකාශ කරනු ලැබුවා. කෙසේ නමුත් මෙම ගල් අගුරු ලක්විජය බලාගාරයට දැමු පසු ලැබෙන වාර්තාව සත්‍ය බව සමගි ජනබලවේගය ප්‍රකාශ කරනු ලැබුවා.
ගල් අඟුරු නැව් සියල්ලගේ ම අදාළ කිලෝ කැලරි ප්‍රමාණය නැහැ
ආනයනික ගල් අඟුරු නැව් 12 අතරින් පළමු නැව සහ 9 වන නැව හැර අනෙකුත් නැව්වල තිබුණ ගල් අඟුරු ප්‍රමිතියෙන් යුක්ත බවත් ඒ සම්බන්ධයෙන් ඉන්දියානු සමාගම සිදුකළ පරික්ෂණ වාර්තාවල ගැටලුවක් නැති බව විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වෙනවා. කෙසේ නමුත් ඉන්දියානු සමගාම නිකුත් කළ වාර්තාව විගණනයට එකඟවිය නොහැකි බවත් විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා. එම සමාගම ගල් අගුරු ප්‍රමිතියෙන් යුක්ත බව සඳහන් කළත් ලක්විජය බලාගාරයේ මෙගාවොට් 300 ජනනය වෙන්නේ නැහැ. ඒ අනුව ගල් අඟුරු නැව් සියල්ලගේම අදාළ කිලෝ කැලරි ප්‍රමාණය නැති බව සමගි ජනබලවේය ප්‍රකාශ කළා. නමුත් සමගි ජනබලවේගය අසත්‍ය ප්‍රකාශ කරන බව ආණ්ඩුව ප්‍රකාශ කළා.
ආණ්ඩුව, දුෂිත සමාගම්වලට ගල් අඟුරු ටෙන්ඩරයට ඇතුළත් වීමට අවස්ථාව දීලා
ගල් අඟුරු සපයන සමාගම අවුරුදු තුනක් ඇතුළත මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 10 ක් ආනයනය කළ සමාගමක් විය යුතුයි. නමුත් ලංකාවට ගල් අඟුරු ගෙන්වීමට ටෙන්ඩරය ලබාදුන් සමාගමට එම කොන්දේසිය වෙනස් කර එය ලක්ෂ 5 දක්වා අඩු කරන්නත් ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. ඒ වගේම ගල් අගුරුවල කිලෝ කැලරි 5900 ක් අඩංගු විය යුතුව තිබුණත් එම කොන්දේසියත් වෙනස් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. පසුගිය මාස 36 තුළ ගල් අගුරු සැපයිමේ දී සපයා තිබුණ මෙට්ට්‍රික්ටොන් ලක්ෂ පහක ප්‍රමාණයෙන් මෙට්ට්‍රික්ටොන් ලක්ෂයක් ප්‍රතික්ෂේපිත මට්ටම වූ කිලෝ කැලරි 5900 හො ඊට වැඩි ලෙස ඇතුළත් කිරීම හේතුවෙන් දල තාප ජනන අගය ප්‍රතික්ෂේප මට්ටමේ හෝ ඊට ආසන්න මට්ටමේ ගල් අඟුරු සපයා පළපුරුද්ද ඇති සැපයුම්කරුවන්ට ද මෙම බලාගාරය සඳහා ගල් අඟුරු සැපයිමට අවස්ථාව සලසා දී ඇති බව නිරික්ෂණය වන බව විගණන වාර්තාවේ සඳහන් වෙනවා. ලක්ෂ 5 ලක්ෂයට අඩුකළ පසු දුෂිත සමාගම්වලට ගල් අඟුරු ටෙන්ඩරයට ඇතුළත් වීමට හැකියාවක් ආණ්ඩුව ලබාදී ඇති බව සමගි ජනබලවේගය සිදුකළ ප්‍රකාශය විගණකාධිපතිවරයා සනාථ කර තිබෙනවා.
ගිවිසුම අවලංගු කළ හැකි බව නීතිපතිවරයා සඳහන් කර තිබෙනවා
ගල් අඟුරු තොගයන්හි ඉහළ ම දල කැලරි වටිනාකම කිලෝ කැලරි 5900 ත් 6000 ත් අතර පැවැති ප්‍රමාණය මෙට්ට්‍රික්ටොන් දෙකලක්ෂ අනූ එක්සදහස් අටසිය හතළිහක් වී තිබුණ ද සපයා තිබු ගල් අඟුරු මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 18 කට අධික ප්‍රමාණයක් අතුරින් මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 15 ක දල වටිනාකම කිලෝ කැලරි 4900 ත් 5900 ත් අතර පැවැති බව නිරික්ෂණය වන බව විගණකාධිපතිවරයා සනාථ කර තිබෙනවා. ඒ වගේම ගල් අඟුරු නැව් 9 ක් සඳහා විදුලි බල මණ්ඩලය ගණනය කර තිබුණෙ මිලියන 8497 යි. ඒ ඉන්ධන මිල වැඩිවීමට පෙරයි. ඉන්ධන මිල වැඩිවුණාට පසුව එම පාඩුව මිලියන 11,000 ක් පමණ වෙනවා. ඒ වගේ ම පළමු ගල් අඟුරු නැව් 3 ලංකාවට පැමිණෙන විට එම ටෙන්ඩරය අවලංගු කිරිමට හැකියාවක් තිබෙනවාදැයි යටිතල පහසුකම් සහ උපායමාර්ගික අධීක්ෂණ කාරක සභාව විමසිමක් සිදුකළා. නමුත් නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා. නමුත් ගිවිසුම අවලංගු කිරිමට හැකියාවක් තිබෙන බව නීතිපතිවරයා සඳහන් කර තිබෙනවා. මෙම ගිවිසුම අහෝසි කර දෙවැනි තුන්වැනි සැපයුම්කරුවන් සමග සාකච්ඡා කරන්නැයි යටිතල පහසුකම් සහ උපායමාර්ගික අධීක්ෂණ කාරක සභාව උපදෙස් ලබා දුන්නා. නමුත් එය සිදුකළ නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අවස්ථාවේ අනෙකුත් සැපයුම්කරුන්ට ගල් අඟුරු ගෙන්විම ඉඩ ලබාදුන්නානම් ගල් අඟුරු නිසි වෙලාවට ලංකාවට පැමිණෙන්න ඉඩ තිබුණා. වැඩිපුර ගෙවිමක් සිදුකරන්න අවශ්‍ය වෙන්නෙත් නැහැ. ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු නැව් ලංකාවට පැමිණෙන්නෙත් නැහැ. නමුත් ආණ්ඩුව ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වු සමාගමේ ටෙන්ඩරය අවලංගු නොකර, ප්‍රමාද ගාස්තු අය නොකර කාලයත් දිර්ඝ කරලා හොර රහසේම හදිසි ගල් අඟුරු මිලදී ගැනිමක් සිදුකරන්න ආණ්ඩුව කටයුතු කරනු ලැබුවා.
රුපියල් ලක්ෂ 42,000 ක් වැඩිපුර ගෙවන්න හදනවා
කෙසේ නමුත් ගල් අගුරු මෙට්ට්‍රික්ටොන් එකක් ආනයනය කරනු ලැබුවේ ඩොලර් 98.50 කට. නමුත් හදිසි මිලදී ගැනීම් යටතේ ගල් අගුරු මෙට්ට්‍රික්ටොන් එකක් ආනයනය කරනු ලබන්නේ ඩොලර් 142 කට. ඒ අනුව හදිසි මිලදි ගැනිම් යටතේ ගල් අගුරු මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 3 ක් ආනයනය කරන්න සුදානම් වෙනවා. ඒ අනුව රුපියල් ලක්ෂ 42,000 ක් වැඩිපුර ගෙවීමට සිදුව තිබෙනවා. කෙසේ හෝ හදිසි මිලදී ගැනිම් යටතේ ගල් අගුරු ගෙන්විමට ලබාදුන්න සමාගමත් සුදුකම් ලබානැති බවත් විගණකාධිපතිවරයා ප්‍රකාශ කරනු ලබනවා. ඒ වගේම හදිසි මිලදි ගැනිම් යටතේ ගල් අගුරු ගෙන්විමට ලබාදුන් සමාගම සැපයු ගල් අගුරු මෙට්ට්‍රික්ටොන් ලක්ෂ 11 කට ආසන්න ප්‍රමාණයේ දළ කැරලි වටිනාකම 5900 ට පහළ අගයක් ගන්නා බවත් විගණකාධිපතිවරයා ප්‍රකාශ කරනු ලබනවා.
විදුලි කප්පාදුව අනිවාර්යෙන්ම සිදුවෙනවා
කෙසේ නමුත් ගල් අගුරු නැව් 9 යෙන් මිලියන 11,000 ක පාඩුවක් සිදුවී තිබෙනවා. ඒ වගේම ගල් අගුරු නැව් 5 කින් ප්‍රමාද ගාස්තු නොගෙවිම හරහා ලෙස ඩොලර් ලක්ෂ 4 ක පමණ පාඩුවක් සිදුවී තිබෙනවා. නැව් 18 සඳහා ප්‍රමාද ගාස්තු නොගෙවිමෙන් ඩොලර් ලක්ෂ 20 ක පමණ පාඩුවක් සිදුවෙනවා. ඒ වගේම හදිසි මිලදි ගැනිම හරහා ඩොලර් ලක්ෂ 42000 ක පමණ පාඩුවක් සිදුව තිබෙනවා. කෙසේ නමුත් හදිසි මිලදි ගැනිම් යටතේත් ගල් අගුරු ගෙන්විම සිදුකර ඇත්තේ සුදුසුකම් නොලත් සමාගමකින්. ඒ වගේම ප්‍රමිතියෙන් තොර ගල් අගුරු ගෙන්විම හේතුවෙන් මාර්තු මාසයේදී රුපියල් මිලියන 10,000 ක පමණ මුදලට ඉන්ධන බලාගාරවලින් විදුලිය මිලදී ගෙන තිබෙනවා. ඒ නිසා විදුලි කප්පාදුව අනිවාර්යෙන්ම සිදුවෙනවා. ඒ වගේම ආසියාවේ විශාලතම විදුලිබිල සහිත රට බවට ශ්‍රී ලංකාව පත් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. මහ බැංකු වාංචාව පිළිබඳව විශ්ලේෂනාත්මකව කතා කළ බොහෝ මාධ්‍ය ආයතන මිලියන තිස්දාහක ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය කණගාටුවට පත් වෙනවා.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
