අද සමාජයේ වඩාත්ම කතිකාවට ලක්ව ඇති මාතෘකාව වන්නේ බාල ගල් අඟුරු වංචාව යැයි සර්වජන බලය නායක පා.ම. දිලිත් ජයවීර පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ සර්වජන බලය පක්ෂය ඊයේ (10) කැඳවා තිබූ මාධ්‍ය හමුවේ දී ය.
එම මාධ්‍ය හමුවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ දිලිත් ජයවීර...
විගණකාධිපතිතුමියට ස්තූතියි...!
''ලංකා දේශපාලන ඉතිහාසය මුල සිට සොයා බැලූ විට මෙතරම් දූෂිත මාතෘකාවක් මතුවී ඇති බව අපි දැක නැහැ. ගල් අඟුරු වංචාව තරම් සුපැහැදිලිව පෙනෙන දූෂණයක් මෙතරම් කාලයක් තුළ සිදුවී නැහැ. වත්මන් ආණ්ඩුව දේශපාලන වේදිකාවේ හඬ නගා කතා කළ “දූෂණ විරෝධී” කියන මාතෘකාව යටතේ සිටිමින් අපි මේ පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. මෙරට රජයන් බලයට පත්වූයේ මැතිවරණ වේදිකාවේ ජනතාවට දුන් පොරොන්දු මතයි. මාලිමා ආණ්ඩුවේ ප්‍රධාන සටන් පාඨය වූයේ “දූෂණයෙන් තොර රජයක්” බවයි. මේ රටේ විශාලම විනාශයක් කළ බලවේගයන්ගේ ඉතිහාසය අමතක කරමින් ජනතාව ඔවුන්ට ඡන්දය ලබා දුන්නේ කුරා කූඹියෙකුටවත් දූෂණයක් නොකරන පාලනයක් අපේක්ෂාවෙන්. ජනතාව ගේ ප්‍රධාන අභිලාෂය වූයේ අදූෂිත පාලනයක් බිහි කිරීමයි. ඔවුන් “76 වසරක සාපය අවසන් කළා” යන කියමන මත සිටිමින් අද මෙම ගල් අඟුරු වංචාව ගැන සාකච්ඡා කළ යුතුයි. ලංකාවේ විගණකාධිපතිවරයා විසින් මෙතරම් පැහැදිලිව තම මතය ප්‍රකාශ කළ අවස්ථාවක් අප ඉතිහාසයේ දැක නැහැ. ඒ හේතුවෙන්, ලංකාවේ විගණකාධිපති දෙපාර්තමේන්තුවටත්, එහි නායකත්වයටත්, නිලධාරීන්ටත් සහ නව විගණකාධිපතිතුමියටත් අප ස්තූතිවන්ත විය යුතුය. බලපෑම් එල්ල වුවද, තම හෘද සාක්ෂියට එකඟව ඉතා පැහැදිලිව මත ප්‍රකාශ කිරීම ගැන විවාදයක් නොතිබිය යුතුය.
ගල් අඟුරු වංචාවට සම්බන්ධ සියලු දෙනාට දඬුවම් දිය යුතුයි
මෙම ගල් අඟුරු වංචාව සිදුවී ඇති ආකාරය පියවරෙන් පියවර මෙහි පැහැදිලිව දක්වා තිබෙනවා. මෙම වංචාව හේතුවෙන් බිලියන 30ක පාඩුවක් රටට සිදුවී ඇති බවත්, එය සෘජු පාඩුවක් පමණක් නොව, ගණනය නොකළ වක්‍ර ආර්ථික පාඩුවක්ද බව සඳහන් කළ යුතුයි. අද ජනතාව ගේ විදුලි බිල වැඩිවීම ගෝලීය හෝ කලාපීය යුද්ධ හේතුවක් නිසා නොව, මෙම ගල් අඟුරු වංචාව හේතුවෙන් විදුලිය උත්පාදනය සඳහා වන පිරිවැය ඉහළ යාම නිසා. දැනටමත් දරාගත නොහැකි ලෙස විදුලි බිල වැඩි වී ඇති අතර, තවදුරටත් වැඩිවීමේ අවදානමක් පවතී. බලශක්ති වියදම ඉහළ යාම හේතුවෙන් අපට කලාපීය හා ගෝලීය ආර්ථික තරගකරුවන් සමග තරග කිරීමට දුෂ්කර තත්ත්වයක් ඇති වී තිබෙනවා. මෙම සියලුම තත්ත්වයන්ට වගකිව යුත්තේ මෙම බාල ගල් අඟුරු වංචාවයි. මෙම සිදුවීමට සම්බන්ධ වූ ජනාධිපතිවරයා සිට සියලු ම ඇමතිවරුන් සහ නිලධාරීන් දක්වා වගකිවයුතු පුද්ගලයින්ට දඬුවම් ලබාදීම අපගේ වගකීම හා යුතුකමකි. එය කිසිසේත් පැහැර නොහැරිය යුතුය.
ජනපති, මෙම වංචාව සරල කළා
අපේ රටේ ජනතාව මෝඩයින් ලෙස සලකා දේශපාලනය කළ යුගය අවසන් වී තිබෙනවා. කුඩා වියේ සිට ස්මාර්ට් දුරකතන භාවිතයෙන් වර්ධනය වූ ජෙන් සී පරම්පරාව සීයට 40කට ආසන්න යි. ඔවුන්ට බොරු පැවසීමෙන් ඔවුන් රැවටිය නොහැකි යි. ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට පැමිණ මෙම විශාල වංචාව සරල කරමින් “මම හපලා බැලුවේ නැහැ, විකලා බැලුවේ නැහැ, කලා බැලුවේ නැහැ” යනුවෙන් ප්‍රකාශ කළා. මෙවැනි විශාල වංචාවක් මෙතරම් සරල ලෙස ප්‍රකාශ කිරීම පිළිගත නොහැකි යි. ජනාධිපතිතුමනි, ඔබතුමාට ගල් අඟුරු හපා බැලීමට අවශ්‍ය නොවේ. ඔබතුමා ගේ සමීපයින් අතර දූෂිත ඉතිහාසයක් ඇති පුද්ගලයන් සිටින බව ප්‍රසිද්ධ කරුණකි. ඔවුන් ගැන සොයා බැලීමට ප්‍රමාණවත් කාලයක් තිබුණි. විශේෂයෙන් අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කාලා බලන්නට, ඉඹලා බලන්නට ඔබතුමාට ඕන තරම් කාලය තිබුණි. මාලිමාවට ඡන්දය ලබාදුන් ආදරණීය ජනතාවට මම පවසන්නේ මෙවැනි දූෂිත ක්‍රියාවලට සහාය නොවන්න කියා. පැලවත්තේ කොමන්ටු බලකායට සහාය වෙමින් මෙවැනි වංචාකාරී ක්‍රියාවලට කොටස්කරුවන් නොවන්න.''
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
