Image

ගල්අඟුරු වංචා හෙළි කිරීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක්

ගල්අඟුරු වංචා හෙළි කිරීමට ජනපතිගෙන් විශේෂ කොමිසමක්

ශ්‍රී ලංකාව තුළ ගල්අඟුරු ආශ්‍රිත විදුලි ජනන ක්‍රියාවලිය ආරම්භ වූ දා සිට 2026 අප්‍රේල් 16 වන දින දක්වා කාලය තුළ සිදුව ඇතැයි සැලකෙන අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර තිබේ.

1978 අංක 07 දරන විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා පනතේ විධිවිධාන ප්‍රකාරව පිහිටුවන ලද මෙම කොමිසමේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග කටයුතු කරන අතර, අභියාචනාධිකාරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න සෙසු සාමාජිකයෝ වෙති.

කොමිසමේ ලේකම්වරයා ලෙස පී.වී. බන්දුලසේන පත් කර ඇත.

මෙම කොමිෂන් සභාව වෙත පැවරී ඇති ප්‍රධාන වගකීම වන්නේ සී/ස ලංකා ගල්අඟුරු පුද්ගලික සමාගම හරහා ගල්අඟුරු ආනයනය කිරීමේ දී ප්‍රසම්පාදන ක්‍රියාවලිය, ප්‍රමිතිය, ගබඩා කිරීම සහ විදුලි උත්පාදනය යන සමස්ත ක්‍රියාවලියේ දී සිදුවී ඇති නීති විරෝධී ක්‍රියා හෝ අක්‍රමිකතා විමර්ශනය කිරීමයි.

විශේෂයෙන්ම ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනය කිරීමෙන් රජයට සිදුවූ මූල්‍ය හානිය තක්සේරු කිරීම, විදුලි ජනන මට්ටම කෙරෙහි ඉන් වූ බලපෑම සහ කොන්දේසි කඩකිරීම් සම්බන්ධයෙන් ගතයුතු පියවර මෙහි දී සොයා බැලෙනු ඇත.

මෙම දූෂණ ක්‍රියාවලට සම්බන්ධ දේශපාලන අධිකාරිය, රජයේ හා සමාගම් නිලධාරීන් මෙන්ම සැපයුම්කරුවන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර යෝජනා කිරීමත්, අනාගතයේ දී මෙවැනි අකටයුතුකම් වැළැක්වීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීමත් කොමිසමේ ප්‍රධාන කාර්යභාරය වේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න