Image

කලා මණ්ඩලය, රාජ්‍ය වෙනුවෙන් 'වාරණ රාජකාරියට' අත ගැසූ වගයි!

කලා මණ්ඩලය, රාජ්‍ය වෙනුවෙන් 'වාරණ රාජකාරියට' අත ගැසූ වගයි!

ලංකා කලා මණ්ඩලය සහ සංස්කෘතික අමාත්‍යංශය යන ආයතන පිහිටුවන ලද්දේ කලා සංස්කෘතික කටයුතු පවත්වා ගෙන යාමේ ධනේශ්වර රාජ්‍ය අරමුණකිනි. එහෙත් මේ දක්වා පොත් වාරණය කිරීමේ අරමුණින් මේ ආයතන කටයුතු කර ඇත් නම් ඒ ඉතාම අල්ප වශයෙනි.


දීපචෙල්වන්ගේ පොත් රේගු භාරයට ගැනීමත් ඒ් සම්බන්ධයෙන් කලා මන්ඩලය හා සංස්කෘතික අමාත්‍යංශය නිහඬව සිටීමත් කලා සාහිත්‍ය සහෘදයන්ගේ අමනාපයට හේතු වී තිබුණි. හිනිදුම සුනිල් සෙනෙවි සහෘදයා නොව, ඇමතිවරයා ලෙස මේ ගැන කුමක් කරන්නේද යන ප්‍රශ්නයත් කලා මණ්ඩලයට පත් කරන ලද කලාකරුවන් කුමක් කරන්නේද යන ප්‍රශ්නය මා හටද තිබිණි.

පසුගියදා සංස්කෘතික අමාත්‍යංශයට දීපචෙල්වන් කැඳවීමත් ඒහිදී කිසිදු සහනදායක ප්‍රතිචාරයක් නොලැබීමත්, ඒ වෙනුවට ඇතැමුන් ජාතික ආරක්ෂාව, ජාතිවාදය වැපිරීම, ත්‍රස්තවාදයට උදව් කිරීම හා 30 අවුරුදු යුද්ධය වැනි කාරණා හුවා දක්වමින්, දීපචෙල්වන්ගේ කෘති නිදහස් කිරීමේ අවසන් බලය ආරක්ෂක අමාත්‍යංශයට ඇති බවට පිළිගෙන තිබුණි. ඒ් අනුව වෙන්නට යන්නේ කුමක්දැයි පැහැදිලි විය.

අවසානයේ සමාජයීය කලා සංස්කෘතික නිදහස, නිර්මාණකරුවාගේ අයිතිය සහ පොදුවේ භාෂණයේ නිදහස වැනි කාරණා කිසිවක් නොසළකා දීපචෙල්වන්ගේ කෘති දෙකක් පාඨකයන් අතට පත්වීම වළක්වන්නට, තහනමක් පැනවීමට එම පාර්ශ්වයන් දායක වී ඇත. ඔබ භාරගත් වගකීම ඒදැයි ඔබෙන්ම අසාගන්න. මා නම් එවැන්නක් පිළිගන්නේ නැත. මා මේ තීරණයට එරෙහි වීමට තීරණය කළෙමි. ඒ

වෙනුවෙන් වැඩකරන සහෘද කලා සංස්කෘතික ක්‍රියාකාරින්ට මගේ පූර්ණ සහයෝගය පළ කරමි.

මේ මා විසින් අප්‍රේල් 18 වැනිදා තැබූ ෆේස්බුක් සටහනයි:
"දීපචෙල්වන්ගේ කෘති රඳවා තබා ගැනීම ගැන දිගු කාලයක් නිහඬව සිටි සංස්කෘතික අමාත්‍යංශය සහ එහි කලා මණ්ඩලය දැන් කියන්නේ පොත් විමර්ශනය කර වාර්තාවක් දෙන බවයි. ඉන්පසුව අදාළ කෘති නිදහස් කිරීමේ හෝ නොකිරීමේ තීන්දුවක් ගත හැකිය. මේ කියන ආකාරයට දීපචෙල්වන්ගේ පොත් වාරණයකට ලක් කිරීමක් සිදුවන්නට නියමිතය.

භාෂණයේ නිදහස ව්‍යවස්ථාපිත නීතියේ ඇති නමුත් රේගුව ඊට උඩින්ය. ආරක්ෂක අමාත්‍යංශය එහි නිසි බලධාරියා බවට පත්ව ඇත.

ආණ්ඩුවට පක්ෂපාති කලාකරුවන් සිටින ජන නියමු කලාකරුවන්ද සිටින කලා මණ්ඩලයේ නිර්දේශය ඇතිව දීපචෙල්වන්ගේ කෘති නිදහස් කෙරෙන තුරු බලා ඉන්නට වන්නේ 'මාලිමා පුනරුදය' නිසා විය හැකිය! ආණ්ඩුවේ හිතවතුන් කියන ආකාරයට බෙදුම්වාදී අඩංගුවක් තිබුණොත් මේ රටේ නැවත ගින්නක් ඇවිල යාමට මේ කෘති ඉවහල් විය හැකි බැවින් එවා රේගුව, ආරක්ෂක අමාත්‍යංශය විසින් රඳවාගෙන පසුව කලා මණ්ඩලයේ නිර්දේශයෙන් නිදහස් කිරීම කළ යුතුලු. සුනිල් විජේසිරිවර්ධන, කලා මන්ඩලයේ සාමාජිකයකු ලෙස පවසන ආකාරයට වෙන ආණ්ඩුවක් තිබුණේ නම් දැනටමත් දීපචෙල්වන් හිරේ දමා තිබිය හැකිලු.

මේ අන්දමට ලංකාවේ පවතින 'පුනරුදය' යනු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු මර්දනය සක්‍රිය කරවන පැරණි ධනේශ්වර නීතියම ඉදිරිය ගෙන යාම බව සහ එහිදී මාලිමා කලා මණ්ඩලයේ (ජනනියමු) බල කරදාසියක් අවැසි බව පෙන්වා දීමම හිනිදුම සුනිල් සෙනෙවි මිත්‍රයාගේ නායකත්වයෙන් යුත් අමාත්‍යංශය අපට දුන් අගනා පාඩමකි. මේ දක්වා මුවින් නොබැණ ඔහු ඉන්නට ඇත්තේද මේ යථාර්ථය කලාවට හිතැති සහෘදයන්ට දැනවීමට විය හැකිය.

ප.ලි. සංස්කෘතික කටයුතු ඇමැති හිනිදුම සුනිල් සෙනෙවි සහ කලා මණ්ඩල සභික සුනිල් විජේසිරිවර්ධන වැනිවුන් මේ රාජ්‍ය යන්ත්‍රයේ දැති රෝද බවට පත්ව ඇති බැවින් පුද්ගලිකව දෝෂ දර්ෂනය කිරීමෙන් පලක් නැත."

 

Chandana Sirimalwatte

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න