අධ්‍යාපන ඇමැතිතුමාගේ වැඩපිළිවෙළ "ළඟම පාසල හොඳම පාසල" වුණත් අපි, "අපේ පාසල හොඳම පාසල" වශයෙන් සළකා එම තේමා පාඨයන් දෙකම එකට එකතු කොට පාසල් පද්ධතිය දියුණු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කරයි.
අග්‍රාමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ පසුගියදා කොළඹ රාජකීය විද්‍යාලයේ 60 කණ්ඩායමේ අනුග්‍රහයෙන් විදුහලේ බටහිර ගොඩනැගිල්ලේ උඩුමහලේ පන්තිකාමර අලූත්වැඩියා කොට විදුහලට භාරදුන් අවස්ථාව අමතමින්ය.
එසේම හොඳම පාසල් බිහිකිරීමේ වගකීම හා යුතුකම ගැන පාසල් දරුවන්ගේ දෙමාපියන්ටත්, ආදි ශිෂ්‍යයන්ටත් සිහිපත් කොට දිය යුතුව තිබෙන බවත් එමගින් හොඳ සිසු පරපුරක් ජාතියට දායාද කළ හැකිවන බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,
රාජකීය විද්‍යාලයේ 60 කණ්ඩායමේ සංවර්ධන අරමුදලේ විධායක කමිටුවේ ව්‍යාපෘති සම්බන්ධිකාරක වජිර ගුණවර්ධන මහතා මෙම වැඩසටහනේ ඉතිහාසය සිහිපත් කර දුන්නා. එසේම රාජකීය විදුහලේ අධ්‍යාපනය ලැබූ සමයේ අපි මුහුණ දුන් සිදුවීම්, අත්දැකීම් පිළිබඳ විස්තරයක් කළා. අපි පළමුවෙන්ම විදුහලට ඇතුළත් වූ සමය, අපගේ පළමු පන්ති භාර ආචාර්යවරුන් සහ ශිෂ්‍යනායක කෙන් බාලේන්ද්‍ර මහතා එදා කුඩා සිසුන් වූ අපට තරවටු කළ අන්දම යනාදී අතීත මතකයන් මේ අවස්ථාවේදී සිහියට නැගෙනවා.
අපට මෙම අලූත් වැඩියා කිරීමේ ව්‍යාපෘතිය අවසන් කිරීමට හැකි වුණේ යුද හමුදාවේ සහය ලැබුණු නිසයි. හිටපු හමුදාපතිතුමා ආරම්භ කළ වැඩසටහන වත්මන් හමුදාපතිවරයා ඉදිරියට ගෙන ගියා. එසේ නොවෙන්නට අපට මේ කටයුත්ත සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙන්නේ නැහැ. එම නිසා මේ සඳහා කැපවීමෙන් කටයුතු කළ 60 කණ්ඩායමේ සියලූදෙනාටමත්, අලූත් වැඩියා කටයුතුවලට ශ්‍රම දායකත්වය ලබාදුන් යුද හමුදාවේ සියලූදෙනාටමත් ස්තූතිවන්ත වනවා.
මෙම කාර්ය භාරය අප ඉටු කළේ විදුහලේ ආදි ශිෂ්‍යයන් වශයෙනුයි. මෙය රාජකීය විද්‍යාලයට පමණක් නොව දිවයිනේ ඕනෑම පාසලක ආදි ශිෂ්‍යයන්ට හොඳ ආදර්ශයක්.
තමන්ගේ පාසල දියුණු කිරීම සඳහා අද බොහෝ දෙනා පෙළඹි සිටිනවා. අපේ සමහර මධ්‍ය මහා විද්‍යාලවලට අවුරුදු 50 කට වඩා වැඩි ඉතිහාසයක් තිබෙනවා. ඒ වගේම සමහර පාසල්වලට අවුරුදු 30 කට වැඩි ඉතිහාසයක් තිබෙනවා. එදා ඒ පාසල්වල අධ්‍යාපනය ලබා පිටව ගිය සිසුන් අද දිවයිනේ මෙන්ම විදේශයන්හී ද විවිධ තනතුරු දරමින් රැඳී සිටිනවා. ඒ නිසා තමා උගත් පාසලට කිසියම් අන්දමකින් සේවයක් කරන්නට එහි අඩුපාඩු සපුරාදෙන්නට ඔවුනට හැකියාව තිබෙනවා.
මෙම කාර්යයේදී 60 කණ්ඩායමට සහය දැක්වූ යුද හමුදාවට, රාජකීය විද්‍යාලයේ සංගමයට, ආදි ශිෂ්‍ය සංගමය ඇතුළු ගුරු දෙගුරුන් සැමට නැවත වරක් මා ස්තූති කරනවා.

