සිංහල පමණක් නොව දෙමළ, ඉංග්‍රීසි යනාදි භාෂා ත්‍රිත්වයෙන් ම විවිධ විෂයවලට අයත් විශාල පොත් ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කළ ගොඩගේ ප්‍රකාශන අයතනයෙහි අධිපති සිරිසුමන ගොඩගේ අභාවප්‍රාප්ත වී තිබේ.
දේහය අද (29) සවස 04.00 සිට මහජන ගෞරවය සඳහා බොරැල්ල ජයරත්න මල් ශාලාවෙහි තැන්පත් කර තැබිමට නියමිත ය; අවසන් කටයුතු එළඹෙන සෙනසුරාදා (මැයි 02) බොරැල්ල කනත්තේ දී සිදු කිරීමට නියමිත ය.
මතු පළවන්නේ ලේඛක මංජු නැදගමුව සිය ''මනුසඳ සැරිය'' කෘතියෙහි සිරිසුමන ගොඩගේ පිළිබඳ ලියූ සටහනයි.
කොළඹින් සැතපුම් සිය ගණනක් ඈත දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ පාලටුව නම් ග්‍රාමයේ ගොවිතැන ජිවනෝපාය කරගත් ජේමිස් අප්පුහාමි මහතාට සහ දියුණුහාමි මහත්මියට 1936 වසරේ මැයි මස 18 වන දින තම පවුලේ හයවෙනි සාමාජිකයා උපන්නේ ය; ඒ හයවැන්නා පුතෙක් විය.
පියදාස ගොඩගේ හයවැන්නා වූ අතර ඉන් පසු තවත් දරුවන් තිදෙනෙක් ඒ පවුලට එක්විය. පියදාස නම දෙනෙක් වූ දරවන් අතර හයවැන්නා විය.
ඉතා දිළිඳු පවුලක අග හිඟකම් වැඩිවෙද්දී දරුවන් නම දෙනකුගේ රාජකාරි සමඟ දෙන්න දෙමහල්ලන් තව තවත් අසරණ වන්නට වූයේ පියදාස නිතර අසනීප වන හේතුවෙනි.
පළමු ආදායම් මාර්ගය
ඔහුට වයස හයක් වන තුරුම පාසැලකට ඇතුළු කරගැනීමට නොහැකි වූයේ වරින් වර කුඩා පියදාස රෝගී වූ නිසා ය.
පාලටුව ගුණරතන විදුහල පියදාස මූලික අධ්‍යාපනය ලැබූ පාසැලයි.
පොළොව ඉරිතලන්නට තරම් මහා නියඟයත්, වරෙක පිටාර ගලා යන ගංවතුරෙනුත් දුක් විඳි පාලටුව ගමේ මිනිසුන්ගේ ගොවිතැන් පාළු වන්නට වීම පියදාස ගේ පියාටත් තදින් දැනිණි.
පාළු වූ ගොවිතැනින් දරුවන් නම දෙනෙකුගේ කුස් පිරවීම අභියෝගයක් වූ විට කුඩා පියදාස වයස දහතුනේ දී දහහතරේ දී තණ කොළ කපා කරත්තවලට විකිණීමටත්, මුකුණුවැන්න, ගොටු කොළ යනාදි පලා වර්ග කඩා මිටි බැඳ පොළේ වෙළෙදුන්ට විකිණීමටත් හුරු විය .ඉන් ලැබෙන පුංචි මුදල වුව ද එවකට සිය මෑණියන්ට මහත් අස්වැසිල්ලක් වූවාට සැක නැත.
වන්දනා නඩයක් සමග කොළඹට...
වයස පහළොවේදී ගමේ තවත් යහළුවන් දෙදෙනෙකු සමඟ පියදාස කොළඹ එන්නේ ගෙදරට හොරෙන් වන්දනා නඩයක් කොළඹ එන ලොරියක එල්ලීගෙන ය.
කළුතර බෝධිය පහුවුණ විට ඉන් බැසගත් පියදාස කළුතර බත් කඩයක නතර විය. ඉතාම සොච්චම් මුදලකට අපා දුක් උහුලා කීයක් හෝ හොයා ගැනීමේ අරමුණින් පියදාස යළි ගම් නොගොස් කොළඹ පැමිණියේ ඉන් අනතුරුව ය.
රත්මලාන පළාතේ සුරතල් කුරුල්ලන් සහ මසුන් ඇති කරන ස්ථානයක සුළු රැකියාවක් කළේ ඉන් පසුවයි.
පියදාස ගොඩගේ තරුණයා සියලු දුක්කදෝමනස්සයන් ඉවසා කවදාක හෝ තම ඉලක්කය වෙත ළඟා වීමට හිත දැඩිකර ගත් නිසාම ඔහු දිවිය ජයගත්තේ කාටත් ආදර්ශයක් ලෙසිනි.
එම්. ජේ.කුරේ අච්චු කන්තෝරුවට පියදාසව යොමු කළේ එවකට කොළඹ සුළු රැකියාවක් කළ ඔහුගේ බාප්පා විසිනි. කුරේ අච්චු කන්තෝරුවේ ඊයම් අකුරු වැකිකිරීම, අකුරු ඇමිණීම පියදාස එහිදී ඉගෙන ගත්තේ ය.
ඩී. පී. දොඩංගොඩ සමාගමේ දී ඔහු පොත් බැඳීමට උගත්තේය. මුද්‍රණ කර්මාන්තය ගැන තරුණ පියදාස ගොඩගේ ගේ හිත ඇදී ගියේ එතැන් සිට ය.
විද්වතුන් සමග ඇසුර අරඹයි...
විද්‍යෝදය පුස්කකාලයේ පොත් බැඳීම සඳහා පියදාස එහි ගියේ ය. එහිදී විද්වත් හිමිවරු, කවියන් පියදාසට හමුවීම පොත පත කෙරෙහි ඔහුගේ හිත තව තවත් නැඹුරු වන්නට හේතුවිය.
මරදානේ අඩි දහයෙ දහයෙ පුංචි කාමරයක පුංචි වීදුරු රාක්කයක පොත් කීපයක් තබා පියදාස එවා විකුණා යළි පොත් සොයා එහි තබා අලෙවි කරන්නට විය.
එකල මාලිගාකන්දේ අතැර දමා තිබූ පුංචි මුද්‍රණාලයක් ගත්තේ ඒ අතරතුර දී ය.
පාලි හා සංස්කෘත මෙන්ම ජ්‍යෝතිෂය පිළිබඳවත් ගොඩගේ උගත්තේය. ඔහු ජ්‍යෝතිෂය උගත්තේ බලන්ගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගෙනි.ඉන් පසු පියදාස ගොඩගේ නම "සිරි සුමන" ගොඩගේ ලෙසින් ගණ පිහිටවා වෙනස් කර ගත්තේ ද එතුමන්ම ය.
පළමු ප්‍රකාශනය
වයස අවුරුදු පහළොවේදී ජීවිතය සොයා කොළඹ ආ ගොඩගේ මුද්‍රණ දිවිය ඇරඹියේ 1969 වසරේය. ඒ එවකට විද්‍යෝදය පුස්තකාල සහයකවරයෙකු වූ මහින්ද රාජපක්ෂ විසින් සිරිසුමන ගොඩගේ ට හඳුන්වා දුන් ලයනල් සරත් නම් වූ කර්තෘවරයා ගේ කෘතියක් මුද්‍රණය කිරීමෙනි. ඒ සිරිසුමන ගොඩගේ මුලින්ම මුද්‍රණය කළ කෘතිය ලෙස ලයනල් සරත්ගේ "හිතුවෙ නැහැ මම ඔහොම වෙයි කියා" කෘතිය දෛවෝපගත කෘතියක් ම විය.
මරදානේ ගොඩගේ පොත් මැදුර ලෙසින් එතුමන් විසින් අද දවසේ සාහිත්‍ය වෙනුවෙන් ඉටු කරන සේවය ඉතා විශිෂ්ටය.
අඛණ්ඩව සම්මානයට පාත්‍රව...
වසරක් තුළ නව කෘතීන් එක්දහස් දෙසීයක් පමණ ගොඩගේ පොත් මැදුරෙන් කල එළි බසි. එයින් වැඩි ප්‍රමාණයක් වෙන් වන්නේ නවක ලේඛක ලේඛිකාවන් වෙනුවෙනි. 1985 වසරේ සිට මේ දක්වාම නොකඩවාම වසර තිස් අටක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ දී වසරේ වැඩිම පොත් සංඛ්‍යාවක් මුද්‍රණය කිරීම වෙනුවෙන් සම්මාන ලබන්නේ ගොඩගේ මහතා ය. 1969 වසරේ සිට මේ දක්වා ගොඩගේ පොත් මැදුරෙන් මුද්‍රණය වූ කෘතීන් ගණන තිස්දහස ඉක්මවයි.
සිරිසුමන ගොඩගේ මහතා සතුට කියා හඳුන්වන්නේ අනුන්ගේ හිත් සතුටු කිරීම ය.
නවක ලේඛකයෙකු තම කෘතියක අත් පිටපතක් ගෙන ඔහු වෙත ආවිට ගොඩගේ මහතා නවකයින්ගේ හිත් බින්ඳේ නැත. හොඳ කෘති හැමෙකක් ම කිසිඳු ලාභයක් නොතකා හෙතෙම මුද්‍රණය කළේ සාහිත්‍යයට නැඹුරවන නවකයින් වෙනුවෙන් උපන් දයාර්ද හදෙනි.
කුඩාකල තම මෑණියන්ගෙන් ලැබුණු ගුණදහම් සහ යහපත් උපදේශ නිසා එතමා දිවිය ජයගත් බව සතුටින් දන්වන්නේ ඔහුගෙන් අපට දහසක් ආදරශයන් ගතහැකි බැවිනි.
"මරදාන කියන්නෙ අද වගේ ම එදත් අන්තිම නරක පළාතක්. ඒ වගේ පරිසරයකයි මගේ ජීවිතේ හොඳම තරුණ විය ගෙවුණේ. එහෙම තැනෙක ජීවත් වුණා කියලා මං නැතිවුණේ නැහැ. මං නෙළුමක් වගේ මතු වුණේ ඒ ගොහොරු මඩෙන්මයි. එහෙම වෙන්න පුළුවන් වුණේ අම්මා තාත්තා ජීවිතයට ඇතුළු කරපු හොඳ ගතිගුණ නිසා."
තමන් ගේ ම කෘති ද්විත්වයක්
අන් ලේඛක ලේඛිකාවන්ගේ දහසකුත් පොත් පත් මුද්‍රණය කළ ගොඩගේ මහතා ඉකුත් දා කෘතීන් දෙකක් ලියා පළ කළේය. ඒ, ''පින් සහ පව්'', ''සිත මනස හා ආගම්'' නමැති කෘති ද්වය යි. මෙම කෘති පිටපත් තිස්පන්දහසක් පමණ අලෙවි වී තිබේ.
අසූ දෙවැනි වියේ පසුවන (2018 වසරේ) සිරිසුමන ගොඩගේ මහතා අදත් සාහිත්‍ය වෙනුවෙන් මාහැඟි සේවයක් කරන නිහඬ නිහතමානී චරිතයකි.
දෙසීයක් පමණ දෙනාට රැකියා අවස්ථාවන් සලසන ගොඩගේ මහතා ඇත්තෙන්ම යුග පුරුෂයෙකි.
"අදත් මං පාන්දර හතරට නැඟිටිනවා. සූර්ය උදාවත් එක්ක ම කුරුල්ලා සීයක් හමාරක් මගේ ගෙදර රූෆ්ටොප් එකට එනවා. අඹ, කෙසෙල්, ගස්ලබු, බිස්කට් පුරවපු භාජනෙත් අරන් මං උඩට එන බව උන් දන්නවා. මං එනකල් මයිනො, ගිරව්, පරෙවියන්, කපුටන්, කොවුලන් වගේ ම ලේනුන් උඩ තට්ටුවෙ තැන් තැන්වල ඉන්නවා. මේ කුරුලු දානෙ දීලා තමයි මං සියලු වැඩ පටන් ගන්නේ. එතැන ඉඳන් දවස ගත කරන්නේ පොත් සාප්පුවේ. ප්‍රෙස් එකේ......." (ඉනෝකා පෙරේරා බණ්ඩාර, සිළුමිණ, 18/02/2017)
ඔහු ඇත්තෙන්ම නෙළුමකි; මඩ ගොහොරක උපන්. එහෙත් දසත සුවඳවත් කරන; ඔහු වසන්පතියකි දස දහසක් පාඨකයන්ට ලේඛකයන්ට හෙවනක් හදන; ඔහු උදාර මිනිසෙකි වැටි වැටී නැගිටින්න යස පාඩමක් කියා දෙන.
ඔහු නිහමානි කමට තවත් නමකි.
මනුසඳ සැරිය දේශබන්ධු සිරි සුමන ගොඩගේ මහතාට ගෞරවය පුදන්නේ මහත් බැතියෙනි.
මැතිතුමෙනි ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය පතමි.
Manju Nadagamuwa
(2018 දෙසැම්බර් මස ලියූවකි)

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
