හොරු අල්ලනවා කියා බලයට පැමිණි වත්මන් මාලිමා රජය හොරු හදමින් අලුතින් හොරුන් නිර්මාණය කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (01) කොළඹ පී. බී. සිරිසේන ක්‍රීඩාංගනයේ පැවැති සමගි ජන බලවේගයේ මැයි රැළිය අමතමිනි.
එම අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
මේ රජය වැඩබැරි ආණ්ඩුවක්
''භාණ්ඩාගාරය, විදුලිය, අධ්‍යාපනය, වරාය යනු හුදෙක් රාජ්‍ය ආයතන හෝ අමාත්‍යාංශ පමණක් නෙවෙයි. භාණ්ඩාගාරය යනු රටේ ආර්ථිකයේ හදවත වන විට විදුලිය රටේ ආලෝකය බවත් අධ්‍යාපනය යනු රටේ වර්තමානය සහ අනාගතය යි. වරාය යනු වෙළෙදාමේ සංධිස්ථානය වුවත් අද මේ දුර්දාන්ත ජනතා විමුක්ති පෙරමුණු රජය මේ ආයතන අනාරක්ෂිත කර විනාශ කරලා. අධ්‍යාපනයට අසභ්‍ය වීඩියෝ ඇතුළත් කර අධ්‍යාපනය විනාශ කළත් අදටත් එහි වගකීම බාර බාරගන්නෙ නෑ. වරායේ කන්ටේනර් පන්නා වරායේ ආරක්ෂාව නැති කළා සේම බාල ගල් අඟුරු ගෙනවිත් වංචා කළත් එහි වගකීම බාර ගන්නටද කවුරුත් නෑ. ඊට අමතරව අප රටේ ඩොලර් ලක්ෂ 25ක් හොරා කා වංචා කර අතුරුදන් කර තිබෙනවා. මේවා ගැන වගකියන කවුරුත් නෑ. මේ රජය වැඩබැරි ආණ්ඩුවක් බවට අමුතුවෙන් ඔප්පු කළ යුතු නැහැ.
පැලවත්තේ පච වළල්ල හොරු නිර්මාණය කරමින් යනවා
සමගි ජන බලවේගය නොසිටින්න අදටත් පාසල් පෙළපොතේ අසභ්‍ය දේවල් අන්තර්ගත සේම වරායෙන් හොරාට කන්ටේනර් පන්නා දමනවා. සමගි ජන බලවේගය නොසිටින්න අදටත් විදුලි බල ඇමති ඒ පුටුවේ සිට බාල ගල් අඟුරු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා සේම අදටත් භාණ්ඩාගාරයෙන් බිලියන ගණනක් හොරා කනවා. රට විනාශ කරන්න චෞර වළල්ලක් කාටල් එකක් නිර්මාණය වී ඇති බව ජනාධිපතිවරයා පැවසුවත් ඒ හැමදේකටම වඩා පැළවත්තේ පච වලල්ල භයානක යි. පැලවත්තේ පච වළල්ල අලුත් හොරු නිර්මාණය කර පුහුණු කරනවා. ජනතාව අලුත් අපේක්ෂාවෙන් සිටින නිසා සමගි ජන බලවේගය නායකත්වයෙන් පච වැඩ නොකරන ආණ්ඩුව වෙනුවට රට දියුණු කරන රාජ්‍ය පාලනයකට මුල පුරනවා. අප රටට මේ අවස්ථාවේ අවශ්‍ය වී ඇත්තේ අලුත් රංගන හා අලුත් සෝබන මෙන්ම මේකප් දාපු දේශපාලනයවත් ලස්සන වචනවත් සමාජ මාධ්‍ය හරහා නිර්මාණය කරන අලුත් නාට්‍ය නොව රටේ ජනතාව මුහුණ දෙන ගැටලුවලට උත්තර යි. ඒ උත්තර සපයන්න සමගි ජන බලවේගය සූදානම්.
මේ රජය දිට්වා සහන පවා අමතක කර අවසන්
රටේ ජනතාව කාන්තාවන් තරුණයන් ළදරුවන් වෘත්තිකයන් ඇතුළු සියලු දෙනා අසරණ වෙලා. රටේ වෘත්තිකයන්ට තමන්ගේ ප්‍රශ්නවලට උත්තර නැහැ. දිට්වා සුළි කුණාටුවෙන් වහලේ ටකරම අහිමි වූ අය ලක්ෂ 10 දෙනතුරුත් ඉඩම සහ නිවස අහිමි වූ අය කෝටිය දෙන තුරුත් බලා ගෙන සිටියත් මේ රජය ඒ සියල්ල අමතක කරලා. අපි 76 වසරක දේශපාලන ක්‍රමය වෙනස් කළා. සුපුරුදු රාමුවකට කොටුවී 76 වසරක දේශපාලනය වෙනුවට විසදුම් ලබා දෙන වැඩපිළිවෙළක් වෙනුවෙන් සක්වල සහ හුස්ම වැඩසටහන් ඉදිරියේදීත් ක්‍රියාත්මක කරනවා. ඉදිරියේදී පාසල් මට්ටමෙන් කෘත්‍රීම බුද්ධි අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළ පවා සමගි ජන බලවේගය ආරම්භ කරනවා. ආණ්ඩුවේ කොන්ත්‍රාත් කරන ගෝලයන්ට අනුව සමගි ජන බලවේගය හෝ විපක්ෂය දුර්වල යැයි කිව්වත් සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය සෙසු විපක්ෂයේ පක්ෂ හා එකතු වී බොරු සහතික තිබූ කතානායක මෙන්ම බාල ගල් අඟුරු ගෙන්වූ ඇමතිවරයා හා ලේකම්වරයා පවා ගෙදර යැවුවා.
ජවිපේ විනාශ කළ රට ගොඩනගන්න අපි සූදානම්
විවිධ කණ්ඩායම් රජයේ හා ආණ්ඩුවේ කොන්ත්‍රාත් කර විපක්ෂය ගැන විවිධ කතා කිව්වත් ඒවාට සමගි ජන බලවේගය සැලෙන්නෙ නෑ. රට ගොඩනගන එකම බලවේගය සමගි ජන බලවේගය යි. ජවිපේ පාලනය නිසා විනාශ වූ අප රට ගොඩගන්න කටයුතු කරනවා. රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේග මැයි රැළියට සුබපැතුම් ඉදිරිපත් කර එකට වැඩ කරන්න කමිටුක් අවශ්‍ය බව පවසා තිබෙනවා. මේ අවස්ථාවේ කමිටු අවශ්‍ය නැහැ; එකට වැඩ කරන්න දෙපාර්ශ්වය සූදානම්.
IMF ගිවිසුම වෙනස් කරනවා කියා බලයට පැමිණි රජය හාම්පුතුන් ගේ වහලුන් වෙලා
ජාත්‍යන්තර කම්කරු දිනය සමරන මේ මොහොතේ පක්ෂයක් ලෙස දේශපාලන ව්‍යාපාරයක් ලෙස අනිවාර්යෙන්ම වැඩ කරන ජනතාවගේ අයිතිය සුරකින බවට ප්‍රතිඥා දෙනවා. ග්‍රාමීය නාගරික වතු ආදී කුමන ප්‍රජාවක් හෝ වේවා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වැඩ කරන ජනතාව ගේ අයිතිය සුරක්ෂිත කරන්න ඇපකැප වෙනවා. පසුගිය රජය IMF ගිවිසුම හරහා වැඩ කරන ජනතාවගේ EPF, ETF එක පිට් පොකට් ගැසූ අවස්ථාවේ එය ඉවත් කරනවා කියා පොරොන්දු වූ බලයට පැමිණි මේ වත්මන් රජය රටේ සුපිරි ධනවතුන්ගේ බලවතුන්ගේ ධනකුවේරයන්ගේ හාම්පුතුන්ගේ වහලුන් බවට පත්වෙලා.
අපේ මාවත මැද මාවතයි
වැඩ කරන ජනතාවගේ කප්පාදු වූ සියලු වරදාන වරප්‍රසාද අනිවාර්යෙන්ම සමගි ජන බලවේගය එම අයිතිය උදෙසා සටන් කරනවා. සමගි ජන බලවේගය මැද මාවත අනුගමනය කරනවා. සමගි ජන බලවේගය අන්තවාදී දක්ෂිණාංශික නව ලිබරල්වාදය ප්‍රතික්ෂේප කරනවා සේම අන්ත වාමවාදී සමාජවාදය පවා ප්‍රතික්ෂේප කරනවා. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සමාජ වෙළෙදපොළ ආර්ථිකය කේන්ද්‍ර කර ගත් ජනතාවට යුක්තිය සාධාරණත්වය ඉටු කරන ප්‍රතිපත්තිය රජකරවන්න ඇපකැප වෙනවා. ජනාධිපතිවරයාට හැකි නම් පළාත් සභා මැතිවරණය පවත්වන ලෙස අභියෝගයක් එල්ල කරනවා. එහෙම පළාත් සභා මැතිවරණය පැවැත්වුවහොත් ලබන වසරේ සමගි ජන බලවේගය මැයි රැළිය තියන්නේ සමගි ජන බලවේගයේ මහ ඇමතිවරුන් සමයි.''

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
