ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ සංගමය විසින් පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් වෙත යොමු කරන ලද ලිපිය සම්බන්ධයෙන් ඔහුගේ විශේෂ අවධානය යොමු වී ඇති බව ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ සංගමයේ ලේකම් පේමසිරි මානගේ වෙත නිල වශයෙන් දැනුම්දී ඇත.
ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ සංගමය විසින් පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්ට යවන ලද ලිපිය මගින් ප්‍රධානතම කරුණ ලෙස ඉදිරිපත් කර ඇත්තේ නීතිවිරෝධී හා ද්වේශ සහගත ලෙස පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම්වරයා ගේ සේවය තහනම් කිරීම වන අතර, එය නීතිමය ක්‍රමවේද, ස්වාභාවික නීතිමය සාධාරණත්වය සහ ආයතනික ස්වාධීනතාව දැඩි ලෙස උල්ලංඝනය කළ ක්‍රියාවක් ලෙස එමගින් පෙන්වාදී ඇත.
තව ද, එම ලිපිය මගින් මෙම සේවය තහනම් කිරීම, ඊට නීතිමය බලය නොමැති පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල උපදේශක කමිටුව (SAC) මගින් සිදු කර ඇති බවත්, එමගින් එය තමා වෙත නැති බලයක් පවරාගෙන සිදුකරන ක්‍රියාවක් බවත් පෙන්වා දී ඇත. එමෙන්ම, මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම කථානායකවරයා විසින් ද්වේශ සහගත පදනම මත සිදුකරන ලද්දක් බව නියෝජ්‍ය මහ ලේකම්වරයා විසින් අභියාචනාධිකරණ හමුවේ පවරන ලද නඩුවේදී ද කරුණු ඉදිරිපත්වී ඇත.
තවද, මෙම සංගමය පෙන්වාදී ඇත්තේ මෙම තීරණය ස්වාධීන පරිපාලන තීරණයක් නොව, වත්මන් කථානායක ජගත් වික්‍රමරත්න මහතාගේ සෘජු පෞද්ගලික මැදිහත් වීමක් මත සිදු කර ඇති බවයි. මෙය ඔහු විසින් තම බලය ඉක්මවා ද්වේශ සහගත ලෙස කටයුතු කිරීමක් බව මෙකී ලිපිය මඟින් පෙන්වා දී ඇත.
මීට අමතරව, වර්තමාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් පාර්ලිමේන්තු පරිපාලනයට අනිසි ලෙස මැදිහත් වෙමින් විශේෂයෙන් කාන්තා සේවිකාවන්ට සහ උසස් නිලධාරීන්ට හිරිහැර සිදුකරන බවත්, නියමිත ක්‍රමවේද මඟහැර බලය අනිසි ලෙස භාවිතා කරන බවත්, ශ්‍රී ලංකා රජය විසින් පවතින නීති රීතීන්ට, සම්ප්‍රදායන්ට හා ජාත්‍යන්තර සම්මුතියන්ට පටහැනිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අයිතිවාසිකම් අසාධාරණ ලෙස අවලංගු කර ඇති බවත්, එමගින් ඔවුන්ගේ මානව හිමිකම් උල්ලංගනය වී ඇති බවත් මෙකී ලිපිය මඟින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගේ සංගමය වැඩිදුරටත් පෙන්වාදී ඇත.
එබැවින්, මෙකී කරුණු හේතුවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය පිළිගත් මූලධර්ම උල්ලංගනය වී ඇති හෙයින්, මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කොට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වර්තමානයේ පත්වී ඇති තත්ත්වය නිරීක්ෂණය කර එකී නීතිවිරෝධී තත්ත්වය හා පාර්ලිමේන්තු පරිපාලනයට කථානායකවරයා ගේ අනිසි මැදිහත් වීම් නැවැත්වීමට කටයුතු කරන මෙන් මෙකී ලිපිය මගින් සංගමය විසින් පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා ගෙන් ඉල්ලා ඇත.
මීට පිළිතුරු වශයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්, ස්ටීවන් ටුවිග් විසින් ශ්‍රී ලංකා හිටපු පාර්ලිමේන්තු සංගමයේ ලේකම් පේමසිරි මානගේ වෙත ලිඛිතව දන්වා ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සිදුවන ආයතනික අක්‍රමිකතා සහ පොදු රාජ්‍ය මණ්ඩලයීය මූලධර්ම උල්ලංගනය කිරීම් සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස හා නිරීක්ෂණය කරන ලෙස කරන ලද ඉල්ලීම පිළිබඳව ඔහුගේ දැඩි අවධානය යොමු වී ඇති බවයි.
එකී ලිපියේ සඳහන් කරුණු අතරින් ප්‍රධානතම කාරණය වන පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම්වරයා ගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් දැනටමත් අධිකරණමය ක්‍රියාවලියක් ආරම්භ වී ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් මැදිහත් වීමට පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයට ඇත්තේ සීමිත ඉඩකඩක් බවත් ඔහු ගේ ලිපිය මගින් සඳහන් කර ඇත. කෙසේ වෙතත්, එම අධිකරණමය ක්‍රියාදාමය පිළිබඳව ඔවුන් විසින් සමීපව නිරීක්ෂණය කරන බවත් වැඩිදුරටත් දක්වා ඇත. තවද, ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු සංගමය විසින් ඉදිරිපත් කරන ලද ලිපියේ කරුණු පිළිබඳව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයාගේ අවධානයට යොමු කරන බවත් පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයාගේ පිළිතුරු ලිපියේ වැඩිදුරටත් දන්වා ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
