Image

සලේට පක්ෂපාතීව අධිකරණයට අපහාස කළ මහින්ද පතිරණ ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

සලේට පක්ෂපාතීව අධිකරණයට අපහාස කළ මහින්ද පතිරණ ප්‍රසිද්ධියේ සමාව ඉල්ලයි

හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ ගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා පත් කරන ලද විශේෂ වෛද්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් අසත්‍ය සහ දෝෂසහගත තොරතුරු පදනම් කරගෙන කළ ප්‍රසිද්ධ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා දේශපාලන විශ්ලේෂක මහින්ද පතිරණ අද (12) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කොන්දේසි විරහිතව සමාව අයැද සිටියේ ය.

ඔහු අද දින කොටුව ගරු මහේස්ත්‍රාත්වරයා වෙත විශේෂ කරුණු පැහැදිලි කිරීමේ ලිපියක් යොමු කරමින් මෙම සමාව අයැදීම සිදු කර ඇත.

නිවැරදිව වටහා නොගැනීම පිළිබඳව කණගාටු වෙනවා

පසුගිය ජූනි 11වන දා මහින්ද පතිරණ විසින් සිදු කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් මගින් අදාළ වෛද්‍ය මණ්ඩලයේ සංයුතිය සහ එහි සාමාජිකයින් තේරීම විධායකයේ හෝ රජයේ දේශපාලන බලපෑමක් මත සිදුවූවක් බවට විවේචනය කර තිබිණි. කෙසේ වෙතත්, තමන් වෙත ලැබුණු දෝෂසහගත තොරතුරු මත එම විවේචනය සිදු කළ බවත්, අදාළ වෛද්‍ය මණ්ඩලය පත් කිරීම විධායකයේ බලපෑමෙන් තොරව, නීත්‍යානුකූල ක්‍රියාවලියකට අනුව ගරු අධිකරණයේ ස්වාධීන නියෝගයක් මත සිදුවූවක් බව නිවැරදිව වටහා නොගැනීම පිළිබඳව කණගාටු වන බවත් ඔහු අධිකරණයට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

තම විවේචනය කිසිසේත්ම ගරු අධිකරණය වෙත එල්ල කළ එකක් නොවන බවත්, තම ඉලක්කය වූයේ රජයේ ක්‍රියාකලාපය විවේචනය කිරීම පමණක් බවත් පතිරණ මහතා සිය ලිපිය මගින් අවධාරණය කර ඇත. කිසිදු අවස්ථාවක අධිකරණයේ අධිකාරී බලයට හෝ අපක්ෂපාතීත්වයට අභියෝග කිරීමට තමන්ට චේතනාවක් නොතිබූ බව ඔහු පවසයි.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ:

“මා විසින් කරන ලද ප්‍රකාශ, ගරු අධිකරණයේ අභිමානයට හෝ ස්වාධීනත්වයට කැළලක් වන අයුරින් අර්ථකථනය වීමට ඉඩකඩ ඇති බැවින්, එහි බරපතළකම මම මැනවින් වටහා ගනිමි. එමගින් ගරු අධිකරණයට යම් අපහසුතාවක් හෝ අගෞරවයක් සිදුවූයේ නම්, ඒ පිළිබඳව මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර ගරු අධිකරණයෙන් මම කොන්දේසි විරහිතව සහ අවංකව සමාව අයැද සිටිමි.”

තමන් සැමවිට ම අධිකරණයේ ස්වාධීනත්වය අගය කරන බවත්, නීතියේ ආධිපත්‍යය, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ අභිමානය සහ අධිකරණ පද්ධතියේ පරිශුද්ධභාවය සුරැකීමට සැමවිටම බැඳී සිටින බවත් මහින්ද පතිරණ සිය සමාව අයැදීමේ ලිපිය මගින් ගරු අධිකරණය හමුවේ සහතික කරනු ලැබ ඇත.

මූලාශ්‍ර - whatnews.lk

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න