තමන් ඇතුළු පිරිස ඒකාබද්ධ විපක්ෂය සමග එක් වි සිටින්නේ දැනටමත් රට වැටී තිබෙන බැවින් යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (14) මහනුවර දී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ සිව්වැනි සම්මන්ත්‍රණය අමතමිනි.

එම සම්මන්ත්‍රණයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන...
වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරුඔය, ඉඟිනිමිටිය යනාදි ව්‍යාපෘති කරේ කවුද...?
''අද මෙතනට ආපු වෙලාවේ මාත් එක්ක කතා කරපු මහනුවර ජනතාව ඇහුවේ සර් අපේ රට ආපහු වැටෙයිද කියලා. මම ඒ අයට කිව්වා මම ඒ ගැන මගේ කතාව අතරතුර දී කියන්නම් කියලා. ඉතින් මම හිතුවා ඒ ගැන කියලම මගේ කතාව පටන් ගන්න. දැනට ම රට වැටිලා ඉවරයි, තව වට්ටන්න දෙයක් ඉතුරු කරලා නැහැ. සහමුලින්ම ඉවරයි. එහෙනම් අපි ඇයි ඒකාබද්ධ විපක්ෂයක් හැටියට සියලුම දෙනා එකතු වෙලා ඉන්නේ? ඒක තමයි අපේ හාමුදුරුවනේ අපේ සමහර සාමාජිකයන්ටත් සමහර දේශපාලන පක්ෂවල සාමාජිකයන්ටත් නොතේරෙන ප්‍රධාන ප්රශ්නය. අවුරුදු 76 ක් දේශපාලන පක්ෂ මේ රට පාලනය කරලා තිබෙනවා, දියුණු කරලා තිබෙනවා. වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ, මාදුරුඔය, ඉඟිනිමිටිය මේවා සේරම හදලා තියෙනවා. කුඹුරු අක්කර ලක්ෂ 20 ක් පමණ නගුලට යට කරලා තිබෙනවා. ඒවා මෙතන ඉන්න ජනතාවට මතකයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා ඒ ගැන මම වැඩියම කියන්නේ යන්නේ නැහැ. මේ රටේ තිබෙන දේශපාලන පක්ෂ 30 ක් විතර දැනට අපේ මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිතුමා ප්‍රධාන මේ කණ්ඩායමට එකතු වෙලා වැඩ කරගෙන යනවා. ලංකාවේ දේශපාලන පක්ෂ 67 ක් පමණ තිබෙනවා. මම හිතන්නේ ඒ හොඳටම වැඩියි. රටක් ඉතුරු වෙයිද? කොහොම නමුත් ප්‍රධාන දේශපාලන පක්ෂ 30 ක් විතර මෙතන එකට එකතු වෙලා ඉන්නවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 වෙනි වගන්තියේ අවුල
රට වැටුණා 2022 මැයි මාසය වෙනකොට, විසඳුමක් තිබ්බේ නැහැ. විසඳුමක් නොතිබෙන අවස්ථාවක එදා අපේ පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට මැයි මාසේ 12 වැනිදා දිවුරුම් දීලා රට බාරගත්තා. ඒ බාරගෙන මේ ඉන්න පොදුජන එක්සත් පෙරමුණත්, මේ ඉන්න මහජන නියෝජිතයන් සියලු දෙනාත් එක්කම එකතු වෙලා වැටුණු රට ගොඩගන්න අවශ්‍ය වැඩේ සැලසුම් කළා. මේ ඉන්න සියලු දෙනා භේදයෙන් තොරව ඒ සඳහා දායකත්වය දුන්නා, එතුමා පාර්ලිමේන්තුවට පනත් 92ක් ගෙනාවා, 72 ක් සම්මත කළා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අපේ හාමුදුරුවනේ දේශපාලනඥයෙකුට ඕනෑම බොරුවක් කියන්න පුළුවන්. නමුත් මුකුත් කරන්න බැහැ, නඩු දාන්න බැහැ, කිසි දෙයක් කරන්න බැහැ. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දීලා තිබෙන අයිතියක්. ඒ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 වෙනි වගන්තියේ සඳහන් වෙනවා. දේශපාලන පක්ෂවල නායකයින්, නියෝජිතයින් ඇවිල්ලා කියනවා රස්සාවල් දෙන්නම්, ගෙවල් දෙන්නම්, ඉඩම් දෙන්නම්, සේරම දෙන්නම් කියලා. ඒවා කරත් එකයි නොකරත් එකයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 29 වෙනි වගන්තියේ කියනවා මේවා කිසිම අධිකරණයක ප්‍රශ්න කරන්න බැහැ කියලා. ඔබ හිතයි මේක අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විතරයි තියෙන්නේ කියලා. නැහැ. මේක තියෙනවා ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේත්, ප්රජාතන්ත්රවාදය තියෙන හැම රටකම ඒක තියෙනවා. ජපානෙත් තියෙනවා. නමුත් ඒක වෙන විදිහකට පාලනය කරලා තිබෙනවා.
L බෝර්ඩ්කරුවන්ට රට බාර දීමේ විපාකය
රනිල් වික්‍රමසිංහ මහත්තයා මැයි 12 අගමැති වෙලා අපේ රට වෙන විදිහකට පාලනය කරන්න නීති පොත් 72 ක් සම්මත කළා. මගේ අතේ තියෙනවා මේ සම්මත කරපු 'ආර්ථික පරිවර්තන පනත'. දැන් මේකට අනුව නම් 2025 අවසානය වනවිට ඩොලර් බිලියන 8.5 ක් අපේ රටේ සංචිතවල තිබෙන්න අවශ්‍යයයි. මේකට අනුව නම් ඩොලර් එක තියෙන්න ඕන රුපියල් 250 ත් 275 ත් අතරේ. දැන් මේ පනත ඉවරට ම ඉවරයි. මේ පනතේ කියලා දෙනවා ජාත්‍යන්තර වෙළඳාම කොහොමද කරන්නේ කියලා. මේ පනතේ කියලා දෙනවා දේශීය වෙළඳාම කොහොමද කරන්නේ කියලා. මේ පනතේ කියලා දෙනවා කොහොමද අර කියන ඉලක්ක සම්පූර්ණ කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ කියලා. නමුත් අද රටේ පාලන බලයේ ඉන්න මේ පොඩි ළමයි ටිකට මේක තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි ජනාධිපතිවරණයේ දී L බෝඩ් එකක් පෙන්නලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව්වේ L බෝඩ් කට්ටියට මේ රට පාලනය කරන්න දෙන්න එපා කියලා. නමුත් මහජනතාව ඒක ඇහුවේ නැහැ. දැන් මේ පනත අනුව ඩොලර් එක මේ දවස්වල තියෙන්න ඕනේ රුපියල් 250 ත් 275 ත් අතරේ. 250 ට වැඩිය පල්ලෙහාට ගෙනියන්න හොඳ නැහැ. ගෙනිච්චොත් අනිත් ව්‍යාපාර වැටෙන්න පුළුවන්. 2024 සැප්තැම්බර් 21 වෙනිදා මේ ආණ්ඩුව භාර දුන්න අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට. එතකොට ඩොලර් එක රුපියල් 291 යි. දැන් රු. 340 ට ගියා. එක රුපියලක් වැඩි වුණාම මහා භාණ්ඩාගාරයේ තියෙන ණය වලට රුපියල් බිලියන 37 ක් එකතු වෙනවා.
29වන වගන්තිය පාලනය කරන්න රනිල් ගෙනා පනත
මිනිස්සුන්ගේ හිතේ තාම රටේ ආණ්ඩුවක් තියෙනවා කියලා. ආණ්ඩුවක් නැහැ. ඒක තමයි යථාර්ථය. එක රුපියලකට අපේ තියෙන ණයවලට එකතු වෙනවා රුපියල් බිලියන 37 ක්. ඒ කියන්නේ දැන් එකතු වෙලා තියෙනවා 1.5 ට්‍රිලියනයක්. බලාගෙන ඉන්න ඉස්සරහට වෙන්නේ මොකක්ද කියලා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තව වැදගත් පනතක් ගෙනාවා. 'පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත. අර මම මුලින් සඳහන් කළානේ වගන්තියක්, 29 වෙනි වගන්තිය කියලා. ඒ 29 වෙනි වගන්තිය පාලනය කරන්න තමයි මේ පනත ගෙනාවේ. මේ ඉන්න මහජනයා අපිව පාර්ලිමේන්තුවට තෝරලා පත් කරලා යවන්නේ මොකටද? අපේ ප්‍රධාන රස්සාව තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148, 149, 150, 151 සහ 152 කියන වගන්ති ක්‍රියාත්මක කරන එක . මොනවාද ඒ? ඒ තමයි මූල්‍ය හැසිරවීම. දැන් මේ පනතේ කියලා තියෙනවා පාර්ලිමේන්තුවට ගන්න කියලා අයවැය අධ්‍යක්ෂක ජනරාල් කෙනෙක්, වසර 20 ක පමණ පළපුරුද්ද තිබෙන. මම කිව්වනේ දේශපාලන පක්ෂ කොළ බෙදනවා කියලා, අරක කරනවා මේක කරනවා කියලා. මෙන්න මේකේ තියෙනවා එහෙම කොළයක් බෙදපුවාම 'මේ බෙදලා තියෙන කොළේ කියලා තියෙන්නේ කළ නොහැක්කක්' කියලා කියන්න අයිතිය. මේ පනතේ ඒක තියෙනවා. දැන් සමහර අය වැරදි මතයක් ගෙනියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගෙනාපු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්තියේ තමයි මේ අය යන්නේ කියලා. නැහැ, ඒක සම්පූර්ණයෙන්ම වැරදියි. එහෙම එකක් වෙන්නේ නැහැ. ඊළඟට එතුමා තව වැදගත් පනතක් ගෙනාවා, 'මහ බැංකු පනත'. මේකත් ඉවරයි.
ජාතියක් හැටියට අපි ඉන්නෙ ඉතාම නරක තැනක
ඊළඟට එතුමා ගෙනාවා 'ණය ගෙවන හැටි'. දැන් දැක්කනේ ණය ගෙවපු හැටි. ඇවිල්ලා කවුද හොරෙන් අරන් ගියයි කිව්වා. ලංකා ඉතිහාසයේ අවුරුදු 76 කට පස්සේ ඩොලර් බිලියන 2.5 ක් ආගිය අතක් නැහැ. දස වතාවක් ගෙවලා, එක වතාවක් නෙමෙයි. දැන් මේකේ කියලා තියෙනවා ණය ගෙවන හැටි. ණය ගත්තොත් දාන්න ඕන මුදල් අමාත්‍යාංශයේ බෝඩ් එකේ. ණය ගෙව්වොත් දාන්න ඕන මුදල් අමාත්‍යාංශයේ බෝඩ් එකේ. දැන් එහෙම වුණා නම් හොයලා තියෙන්න එපැයි. කොච්චර මහජනයාට කිව්වද මේ වැරැද්ද කරන්න එපා කියලා, මහජනයා කරා. මහජනයා කරලා අපෙන් අහනවා දැන් මොකද කරන්නේ කියලා. මේ හැම පනතකින්ම බැලුවේ මහජනයා ආරක්ෂා කරන්න. ඉන්දියාවේ නේරු අගමැතිතුමා 1952 දී අර තිබුණට දේශපාලන පක්ෂවලට ඕනෑම බොරුවක් කියන්න පුළුවන් පදනම, එතුමා වෙනත් පනත්වලින් ඒක ආවරණය කළා. ඒ නිසා තමයි ඉන්දියාව ත්‍රීවීල් හැදුවේ, කෝච්චි හැදුවේ, ප්ලේන් හැදුවේ, නැව් හැදුවේ. දැන් බලන්න සිංගප්පූරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ඒක ඉතාම බලවත්! ඒකයි ඩොලර් බිලියන 500 ක ඉලක්කයකට ඒගොල්ලෝ ගිහිල්ලා තියෙන්නේ. චීනයේ ව්‍යවස්ථාව බලවත්, ශක්තිමත්. ලොකු ඉලක්කයකට ගිහිල්ලා තියෙනවා. හැබැයි අපි ජාතියක් හැටියට ඉතාම නරක තැනක ඉන්නේ.
මාලිමාව කරපු එක ම දෙය
නමුත් මේ අය එක දෙයක් කළා? ජීවිතයට පන්සලකට නොගියපු ළමයි, පන්සලට ආවා. වංචනික ලෙස හෝ ඔබවහන්සේලාට වැන්දා. ජීවිතේට පන්සලට ඇවිල්ලා ධාතු කරඬුව හිස මත නොතියාපු ළමයි, වංචනික ලෙස හෝ ඒ පින සිදුකරගත්තා. දැන් බලන්නකෝ, මේ ජනපවුරෙන් වෙච්ච එක හොඳම දේ තමයි ඔබවහන්සේලාට වඳින්න සිද්ධ වුණා. ඔබවහන්සේලාගේ පන්සලට එන්න වුණා. ධාතු කරඬුව හිස මත තියාගන්න වුණා. පෙරහැරවල්වලට සහභාගි වෙන්න වුණා. හැබැයි රට ඉවරයි. එක වාක්‍යයකින් එච්චරයි කියන්න තියෙන්නේ.
'මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත' ගෙනාවෙ ඇයි...?
දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බැණලා හරියන්නෙ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියපු වැඩේ නෙමෙයි දැන් කරන්නේ. දැන් මේ පනත අනුව නම් 2025 න් පස්සේ නිදහස් වෙළඳ කලාප 7 ක් 8 ක් පටන් අරගෙන තියෙන්න ඕන. එකක්වත් පටන් අරගෙන නැහැ. රට වැටිලා තියෙන්නේ. ඒකයි අපි ඔක්කොම මේ එකතු වෙලා කල්පනා කරන්නේ කොහොමද අපි එක ඉලක්කයකට යන්නේ. දැන් අපේ සමහර සහෝදරවරු සමහර වෙලාවට අහනවා "ඇයි අහවලත් එක්ක එකතු වුණේ? ඇයි අහවලත් එක්ක එකතු වෙන්නෙ?" කියලා. අපි ඔක්කොම එකතු වෙලා තමයි 2022 ජූලි 09 වෙනිදා මුළු රටම ගිනි තියෙනකොට, ආපහු මේ රට ගොඩගත්තේ. වැට්ටුවේ ඒගොල්ලෝ, ඒවා ගැන අනිත් කථිකයෝ කියයි.
ඒ නිසා මිත්‍රවරුනි, රට ඉතාම අවාසනාවන්ත, නරක තැනක තිබෙන්නේ. අපේ දේශපාලන පක්ෂත් පුරුදු වෙලා තියෙනවා මුහුදෙන් එපිට ඉන්න දේශපාලන රටවල් එක්ක වැඩ කරන්න. ඒක තමයි අපේ කර්මය. මේ රටේ දේශපාලන පක්ෂවලට ඇතුළු වෙනවා මුහුදෙන් එපිට ඉන්න කණ්ඩායම්. ඒගොල්ලන්ට ඕන විදිහට මේ රට හසුරුවනවා. ඒක පාලනය කරන්න තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා තව පනතක් ගෙනාවේ, 'මැතිවරණ වියදම් සීමා කිරීමේ පනත' කියලා. ඇයි එතුමා එහෙම පනතක් ගෙනාවේ? කවුරුහරි කෙනෙක් පක්ෂයක් පිහිටුවනවා, එපිට ඉන්න සංවිධානයක් බලනවා ඒ පක්ෂය හරහා කොහොමද ලංකාව හසුරුවන්නේ කියලා, ඊට පස්සේ එයා සල්ලි පොම්ප කරනවා ඒ පක්ෂයට.
දැන්වත් එකට එකතු වෙමු
ඒ වගේම මෙතැන මට කලින් කතා කළ කතිකයින් අපේ නායකයෝ ගැන කිව්වා, අපේ නායකයෝ ඔක්කොම මරලා ඉවරයි. ඩී. ඇස්. සේනානායකගෙන් පටන් ගත්තාම, බණ්ඩාරනායක මහත්තයත් ඉවරයි. ඩඩ්ලි සේනානායක මහත්තයත් අකල් මරණයක්. ජේ. ආර්. ජයවර්ධන මහත්තයවත් මරන්න බොහෝ උත්සාහ කළා නමුත් මරාගන්න බැරි වුණා. එතුමාට පාර්ලිමේන්තුවේ ඇතුළෙ ම බෝම්බ ගැහුවා, ඇතුළත්මුදලි මාස තුනක් ජයවර්ධනපුර රෝහලේ, කීර්ති අබේවික්‍රම මහත්තයා එතනම මිය ගියා. එතනින් නැවතුණෙත් නැහැ, ඊට පස්සේ ප්‍රේමදාස මහත්තයත් මහා පාරේ ඝාතනය කළා. මේ දිස්ත්‍රික්කයේ විජේතුංග මහත්තයා යන්තම් වෙඩි නොවදින එකක් තියාගෙන කතා කරලා පණ බේරාගෙන ගෙදර ගියා. ඊට පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය කොළඹ ටවුන් හෝල් එකේදී බෝම්බ ගහලා ඝාතනය කරන්න උත්සාහ කළා. බලන්නකෝ අපේ නායකයෝ ඔක්කොම මරලානේ. මේ විදිහට ලැයිස්තුවක් තියනවා මම ගාව. අපි බෙදිලා අපි ගහගන්නවා. දැන්වත් අපි බෙදෙන එක අවසන් කළ යුතුව තිබෙනවා. අපි කොහොම හරි එකතු විය යුතුව තිබෙනවා.
මම අවසාන වශයෙන් ඔබට එකක් කියනවා. මේ පාලනය බිම දැමීම ඒගොල්ලෝ කරනවා. ඒක අපි කරන්න ඕනේ නැහැ. මේ ආණ්ඩුව බිමදාන එක ඒගොල්ලෝම කරනවා. මේ කණ්ඩායමට තමයි පුළුවන් මේ රට ගොඩදාන්න පුළුවන්. ඒක වෙන කාටවත් කරන්න බැහැ. කරන්න පුළුවන් නම් ඒගොල්ලෝ කරනවා.''
මෙම සම්මන්ත්‍රණයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන, දයාසිරි ජයසේකර, චාමර සම්පත් දසනායක, අනුරාධ ජයරත්න, හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, විජයදාස රාජපක්ෂ සහ ලංකා සමසමාජ පක්ෂය වෙනුවෙන් රවීන්ද්‍ර ප්‍රදීප් කුලසේන, හිටපු පා.ම වේලු කුමාර් යන අය අදහස් දැක්වූහ.

මාධ්‍ය ඒකකය - වජිර අබේවර්ධන
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
