Image

හනුමාන් දෙවියන් ගේ පිළිම සොරකමට සම්බන්ධ සැකකරුවන් යළි රිමාන්ඩ්

හනුමාන් දෙවියන් ගේ පිළිම සොරකමට සම්බන්ධ සැකකරුවන් යළි රිමාන්ඩ්

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ගේ නම සම්බන්ධ කරමින් පුරාවස්තු වටිනාකමින් යුත් හනුමාන් දෙවියන් ගේ මැණික් හා රත්තරන්න සහිත ලෝහමය පිළිමයක් ඉන්දියාවට අලෙවි කරනවා යැයි පවසමින් පුද්ගලයින් ගෙන් කෝටි ගණනින් මුදල් වංචා කිරීමට තැත් කළ  සැකකරුවන් දෙදෙනෙකු ලබන 05 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන  නියෝග කළේ ය.

එල්ටීටීඊ යුද සමයේ දී සොයා ගන්නා ලද පුරාවස්තු වටිනාකමින් යුත් හනුමාන් දේව  ප්‍රතිමාව 2016 වසරේ දී යාපනයේ සිට දකුණට ගෙන විත්  වළදමා තිබෙනවා යැයි පවසමින් වීඩියෝ සහිත වඩා පින්තූර වට්ස් ඇප් මගින් යවමින් මුදල් වංචා කිරීමට තැත් කළ කෑගල්ලේ පදිංචි ජයන්ත බණ්ඩාර අතුකොරළ සහ තලවතුගොඩ  සුදුහකුරුගේ ලයනල් රණවීර යන සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්  අධිකරණයට කියා සිටියේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල කළ පැමිණිල්ලක් අනුව  සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ය. පැමිණිලිකාර සුනිල් වටගල රහස් පොලීසියට ඉදිරිපත් කළ වීඩියෝ පටයේ සඳහන් ආකාරයට පළවෙනි සැකකරු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල ගේ නම සම්බන්ධ කරමින් පුරාවස්තුව විකුණා මුදල් රැස් කිරීමට තැත් කර ඇති බවත් , සැකකරු විසින් එසේ තවත් පුද්ගලයකුට දුරකතන ඇමතුමක් ලබා දෙමින් සිටිය දී අත්අඩංගුවට ගත් බවත් විමර්ශන නිලධාරීන්  අධිකරණයට කරුණු ඉදිරිපත් කළේ ය.

පළමුවෙනි සැකකරුගේ අනාවරණය කර ගත් තොරතුරු අනුව දෙවැනි සැකකරු එම පිළිමය විකිණීමට ගැනුම්කරුවකු සොයා දී සහාය සලසන්නා ලෙස කටයුතු කර ඇති බව ද කරුණු ඉදිරිපත් කර ඇත.

ඇමතිවරයකුගේ නම විකුණා මුදල් වංචා කිරීමට තැත් කළ සැකකරුවන් පුරාවස්තු පනත යටතේ  වරදක් සිදු කර ඇද්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව  අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය. මෙම ගනුදෙනුවේ දී නියෝජ්‍ය අමාත්‍යවරයා ගේ නම සඳහන් කරමින් ඔහුට මුදල් ලබාදිය යුතු බවට සඳහන් වීඩියෝ පටය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කළේ ය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා  සැකකරුවන් ලබන 05දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න