ශ්‍රී ලංකාවේ අලංකාරයේ සංකේතය බඳු වූ නෙළුම් කුලුන රඟහලේ දී “Miss Earth Sri Lanka 2026” තරගයේ තානාපති පත්වීම් ප්‍රකාශයට පත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුව පසුගියදා (30 වනදා) උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
හුදෙක් බාහිර රූප සෝභාව පමණක් නොව, බුද්ධිය, නායකත්වය සහ පරිසරය පිළිබඳ සංවේදීතාව එක්තැන් කරන මෙම සුවිශේෂී ජාත්‍යන්තර තරගාවලිය මෙහෙයවනු ලබන්නේ "Beauties for a Cause" හෙවත් "අරමුණක් සඳහා වූ රූ රැජිණියන්" යන උදාර දර්ශනය පෙරදැරි කරගෙන ය. ශ්‍රී ලංකාව තුළ මෙහි නිල වගකීම සහ සංවිධාන කටයුතු Oprin Lanka (Pvt) Ltd ආයතනය විසින් දරනු ලබයි.
මෙවර “Miss Earth Sri Lanka” සංවිධානය විසින් කඩවත එක්සලන්ස් ලයන්ස් සමාජය (Kadawatha Excellence Lions Club - District 306 D4) සමඟ අත්වැල් බැඳගනිමින් සමාජයීය සහ පරිසර හිතකාමී සුවිශේෂී වැඩසටහන් 4ක් සඳහා නව තානාපතිවරුන් පත් කිරීමට කටයුතු කර ඇත. එම පත්වීම් මෙසේ ය:
ළමා පිළිකා දැනුවත් කිරීමේ තානාපති (Miss Earth Sri Lanka 2026) ළමා පිළිකාවෙන් පීඩාවට පත් දරුවන් සහ ඔවුන්ගේ පවුල් වෙනුවෙන් හඬක් නැගීම, කල් ඇතිව රෝගය හඳුනාගැනීම සහ ජනතාව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි .
තරුණ සංවර්ධන දැනුවත් කිරීමේ තානාපති (Miss Earth - Air Sri Lanka 2026): තරුණ තරුණියන්ගේ නායකත්වය, ස්වේච්ඡා සේවය සහ සමාජ සේවය ජාතික අරමුණු සඳහා යොමු කරමින් වඩාත් බලගැන්වුණු නව පරපුරක් බිහිකිරීමට කටයුතු කිරීම.
පරිසර දැනුවත් කිරීමේ තානාපති (Miss Earth - Water Sri Lanka 2026) පරිසර වගකීම් ප්‍රවර්ධනය කරමින් අප ජීවත් වන ප්‍රජාවන් තුළ "ග්‍රහලෝකයේ තානාපතිවරුන්" බිහිකිරීම.
විශේෂ අවශ්‍යතා සහිත තරුණයින් සඳහා වන තානාපති (Miss Earth - Fire Sri Lanka 2026): විශේෂ අවශ්‍යතා සහිත තරුණ තරුණියන් පිළිබඳ සමාජය දැනුවත් කිරීම, ඔවුන් පිළිගැනීම සහ සමාන අවස්ථා ප්‍රවර්ධනය කිරීම.
දැනට Miss Earth Sri Lanka කිරුළ හිමි කරගෙන සිටින ආදිත්‍යා දෙව්මිණි (Adithya Dewmini) මෙනෙවියගේ "කසළින් ධනයට සහ කොළ පාට යමු" (Waste to Wealth and Let's Go Green) ව්‍යාපෘතිය හරහා මේ වන විටත් කසළ කළමනාකරණය සහ ප්‍රතිචක්‍රීකරණය සම්බන්ධයෙන් මහඟු සේවාවක් ඉටු වෙමින් පවතී.
ශ්‍රී ලාංකේය කාන්තාවන් බලගැන්වීම, පරිසර නායකත්වය ප්‍රවර්ධනය කිරීම සහ තිරසාර අනාගතයක් උදෙසා හඬක් නැගීම Miss Earth Sri Lanka ආයතනයේ ප්‍රධාන දැක්මයි.
"Beauty with Purpose. A Crown with Responsibility. A Voice for the Earth." හෙවත් "අරමුණක් සහිත රූපය. වගකීමක් සහිත කිරුළ. පොළොව වෙනුවෙන් හඬක්" යන්න මෙවර තරගාවලියේ ප්‍රමුඛතම පණිවිඩය බවට පත්ව ඇත.
මේ අවස්ථාවේ දී Oprin Lanka (Pvt) Ltd ආයතනයේ සභාපති සහ "Miss Earth Sri Lanka 2026 " ජාතික අධ්‍යක්ෂ තුසිත පෙරේරා, Miss Earth Sri Lanka 2026 ජාතික සංවිධායක සමන් රත්නායක, සම සභාපති විනුකි පෙරේරා, අනුෂි ගුණරත්න, කවීෂා විජේරත්න, ආධිත්‍යා දෙව්මිණි, හසිනි කාව්‍යා, සසස්මි දිසානායක, රොෂාන් රාජපක්ෂ, තරිඳු වෙල්හේනගේ, වෛද්‍ය අසංක වීරසිංහ යන අය ද අදහස් දැක්වූහ.
තරගයට ඉදිරිපත් වන තරගකාරිනියන් ගේ එළිදැක්වීමේ අවස්ථාවක් ද මෙහි දී සිදු විය. එහි අවස්ථා කිහිපයක් ඡායාරූපවලින් දැක්වේ.


ජේ.මුණසිංහ
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
