ස්වාධීන අධිකරණයට අත තැබූ සෑම අවස්ථාවකම රටේ නායකයා චෝදනාවලට ලක්වීමත්, රට අස්ථාවරභාවයට පත්වීමත් එකවර දැකගැනීමට හැකි වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
කෝට්ටේ පිහිටි සමගි ජනබවේගයේ පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවට අද (03) එක්වෙමින් ඔහු මේ බව සදහන් කළේය.
ඒ සම්බන්ධයෙන් උදාහරණ සහිතව කරුණු පැහැදිලි කළ හිටපු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, 22 වන සංශෝධනය හරහා වර්තමාන ජනාධිපතිවරයා හා ආණ්ඩුවද බලවත් පිරිහීමකට ලක්වීමත්, ඒ ඔස්සේ රට ගැඹුරු ආගාධයක් වෙත යොමුවීමත් කිසිවෙකුට හෝ වැලැක්විය නොහැකි බවය.
“එක්තරා කාලයක ජේ. ආර්. ජනාධිපතිවරයා, නෙවිල් සමරකෝන් ගෙනැල්ලා අගවිනිසුරු කරගත්තා. ප්‍රතිපලය වුණේ දෙන්නටම මුහුණ දෙන්න බැරි තත්ත්වයක් ඇති වෙලා, පස්සේ නෙවිල් සමරකෝන් රටත් අත්හැර ගියා. ඊට පස්සේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සිය මිතුරෙකු වූ සරත් එන්.සිල්වාට අගවිනිසුරු පුටුව භාරදුන්නා. පස්සේ යාළුකම් හතුරුකම් බවට පත්වුණා. අන්තිමේදි වුනේ වසර 06ට බලයට ආපු චන්ද්‍රිකාවට වසර 5කින් ගෙදර යන්න සිද්ධ වෙච්ච එක. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු පුටුවේ වාඩි කෙරෙව්වා. එතුමිය උසාවියක් පැත්ත පලාතේ ආපු කෙනෙක් නෙමෙයි. ඒකෙන් දෙන්නම විනාශ වුණා. ඊට පස්සේ මොහාන් පිරිස් ඒ පුටුවෙ වාඩි කළා. අන්තිමේදී ඔහුත් විනාශ වුණා. ඉතිං අපිට ඉතිහාසයෙන් ගත හැකි පාඩම වන්නේ අධිකරණයේ ස්වාධීනත්වයට එරෙහිව යම් නායකයෙකු හෝ ආණ්ඩුවක් කටයුතු කළේ නම්, ඒ සම්බන්ධයෙන් වූ ප්‍රතිචාරය දඩුවමක් ලෙසම ලැබී ඇති බව. ඒක අතීතයට මෙන්ම වර්තමානයටත් අනාගතයටත් පොදුයි.”
එලෙස අදහස් දැක්වූ වීරක්කොඩි මහතා 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා උත්ගතවිය හැකි තත්ත්වය පිළිබඳවද කරුණු පැහැදිලි කරමින් අවධාරණය කළේ, “22 කියන්නේ පණුවො සහිත ටින් එකක්... අර්බුදය ඒක කැඩීමේ වගකීම අධිකරණයට පැවැරීමයි...” කියාය.
ඇත්ත වුවමනාවක් තිබේනම් නීතිය ක්‍රියාත්මක කරන සෙසු ආයතවල පවතින පුරප්පාඩු සම්පූර්ණ නොකරන්නේ ඇයි ?
නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු විශ්‍රාම වයසට අවුරුදු දෙකක් තිබියදී සේවය අත්හැර ගොස් ඇති බවත්, අභියාචනාධිකරණයේ පවතින විනිසුරු පුරප්පාඩු ගණන 05ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් පෙන්වා දුන් වීරක්කොඩි මහතා, නඩු විභාග කඩිනමින් අවසන් කිරීම වෙනුවෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරන බව ජනාධිපතිවරයා හා ආණ්ඩුව නිරන්තරයෙන් ප්‍රකාශ කළද නඩු විභාග කඩිනම් කිරීමේ ඇත්ත වුවමනාවක් තමන්ට තිබේනම් නීතිය ක්‍රියාත්මක කරන සෙසු ආයතවල පවතින පුරප්පාඩු සම්පූර්ණ නොකරන්නේ ඇයි දැයි ඔහු ප්‍රශ්න කළේය.
“පොලිස් සේවයේ උප පොලිස් පරීක්ෂක තනතුරට අයදුම්පත් කැදෙව්වා. අයදුම්පත් 15000ක් පමණ ලැබුණා. නමුත් අවුරුදු දෙකක් ගතවුණත් ඒ අතරින් 100 දෙනෙකු බදවා ගන්න ආණ්ඩුවට බැරිවෙලා තිබෙනවා. කතාවෙන් කියනවා බදවා ගන්නවා කියලා. ඒත් වැඩවලින් එහෙම දෙයක් වෙලා නෑ. ආණ්ඩුව දැන් මේ කරමින් ඉන්නේ සිය දේශපාලන අවශ්‍යතාව අනෙකා මගින් ඉටුකරගැනිමේ ක්‍රියාදාමයක්. ඒ අනුව 22වන සංශෝධනය කියන්නේ පණුවො ඉන්න ටින් එකක් විවෘත කරනවා වගේ දෙයක්. මේ කරල තියෙන්නේ සිය අවශ්‍යතාව වෙනුවෙන් මේ පණුවො සහිත ටින් එක විවෘත කිරීමේ අභියෝගය අධිකරණයට බාරකිරීමයි. එහි අවසන් ප්‍රතිඵලය තමයි විනිසුරුවරුන් වගේම ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලු පද්ධතියම අපහසුතාවට පත්වීම. මේක ඇත්තටම රටේ අවශ්‍යතාවක් නම් අධිකරණ පද්ධතිය අපහසුතාවට පත්නොවන ලෙස මෙය ක්‍රියාත්මක කරන්න තිබුණා. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් සහ ජනමත විචාරණයක් මගින් 22 සම්මත කළ යුතු බවට කැබිනට් මණ්ඩලයේදී තින්දුවක් ගත්තේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියටත්, විනිසුරුවරුන්ටත් මේ වගේ අපහසුතාවකට මුහුණ දෙන්න සිදුවෙන්නේ නෑ. ජනතා පරමාධිපත්‍ය කියලා කියන්නේ ජනතාවට තමන්ගේ ඒ අවශ්‍යතාව ගැන නිවැරදි තීන්දුවක් ගන්න ඉඩ සලස්වන එක."
මේ අතර මේ 22 වන ආණ්ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පෙත්සම් විභාගයෙන් අනතුරුව එය නීරීක්ෂණයට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිවරයා පළ කළ අදහස් අපි ඉතා ගැඹුරින් සලකා බැලිය යුතු බවත්, එම අදහස් හමුවේ ජාත්‍යන්තරය මෙම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති පාරිශුද්ධ භාවය ප්‍රශ්ණ කර සිටි බවත් නීතිඥ චන්දිම වීරක්කොඩි මහතා පෙන්වා දුන්නා.
ඔහු අවධාරණය කළේ, මේ ආකාරයෙන් ජාත්‍යන්තරය ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සහ නීතියේ ආධිපත්‍ය පිළිබඳ කනස්සල්ල පළ කිරීම අනාගතයේදී සුබවාදී නොවන ආකාරයෙන් රටට බලපෑ හැකි බවයි.
ප්රජාතන්ත්රවාදයේ මලගම නොලියන්න... 22 සංශෝධනය අත්හරින්න...
පද්ධති ශක්තිමත් කිරීම ජනතාව තුළ පැවැති බලාපොරොත්තුව වුවද ඒ බලාපෙරොත්තුව සුණු විසුනු කරමින් ආණ්ඩුව පද්ධති අවුල් ජාලාවක් බවට පත්කර, ඒවා කෙරෙහි තිබූ විශ්වාසය බොදකර දැමීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවටද වීරක්කොඩි මහතා චෝදනා කළේය.
“ලෝකයේ ඕනෑම පුරවැසියකු අධිකරණය ගැන විශ්වාසය තියනවා. අවසාන බලාපොරොත්තුව තියෙන්නේ ස්වාධීන අධිකරණ පද්ධතිය ගැනයි. එහෙත් එම ස්ථානය සැක උපදවන තැනක් බවට පත්කිරීම ජනතා ඡන්දයෙන් පත්වූ ආණ්ඩුවක් විසින් සිදුකරන්නේ නම්, එය අතිශය සාහසික ක්‍රියාවක්.”
1931 වසරේ සිට නොකඩවා ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කළ රටක ස්වාධීන අධිකරණ පද්ධතියක පැවැත්ම තහවුරු කිරීමේ ඇත්ත වුවමනාවක් ඇත්නම් 22වන සංශෝධනය අත්හැර දැමීමට තවමත් කාලය පවතින බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
