Image

"එන්නත්කරණය නූතන වෛද්‍ය විද්‍යාවේ වඩාත් ඵලදායී මහජන සෞඛ්‍ය මැදිහත්වීමක්" – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි

"එන්නත්කරණය නූතන වෛද්‍ය විද්‍යාවේ වඩාත් ඵලදායී මහජන සෞඛ්‍ය මැදිහත්වීමක්" – සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි

විද්‍යාත්මක දැනුම, සාක්ෂි මත පදනම් වූ වෛද්‍ය පිළිවෙත් සහ ඵලදායී මහජන සෞඛ්‍ය ප්‍රතිපත්ති හරහා මෙරට ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීම රජයේ ප්‍රමුඛ කැපවීම බවත්, නූතන වෛද්‍ය විද්‍යාව තුළ එන්නත්කරණය යනු වඩාත්ම ඵලදායී සහ කාර්යක්ෂම මහජන සෞඛ්‍ය මැදිහත්වීමක් බවත් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පැවසීය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) බෝවන රෝග පිළිබඳ විශේෂඥ කමිටුව විසින් පිළියෙල කරන ලද "SLMA එන්නත් පිළිබඳ මාර්ගෝපදේශ සහ තොරතුරු - 9 වන සංස්කරණය" (9th Edition of the SLMA Guidelines and Information on Vaccines) එළිදැක්වීම වෙනුවෙන් (19) දා පස්වරුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පැවැති උත්සවයට එක්වෙමිනි.

hansakawi1021

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ සංක්‍රමණික රෝග වැළැක්වීම, විවිධ රෝගාබාධ හා මරණ අවම කිරීම මෙන්ම අවදානමට ලක්විය හැකි ජනගහනය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් එන්නත්කරණය ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකගේ ජීවන තත්ත්වය ආරක්ෂා කර ඇති බවයි.

1978 වසරේදී ගෝලීය පුළුල් ප්‍රතිශක්තිකරණ වැඩසටහනේ කොටසක් ලෙස ආරම්භ කරන ලද මෙරට ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන, ජාතික සෞඛ්‍ය ජයග්‍රහණයන් හි වැදගත් අංගයක් මෙන්ම රටේ වඩාත්ම වටිනා මහජන සෞඛ්‍ය වැඩසටහනක් බවට වර්ධනය වී ඇති බවද සෞඛ්‍ය වෘත්තිකයන්ගේ කැපවීම එම එන්නත් කරණ වැඩසටහනේ සාර්ථකත්වයට හේතු වූ බවද හෙතෙම සඳහන් කළේය.

මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ යුනිසෙෆ් (UNICEF) ආයතන ලබාදෙන අඛණ්ඩ සහයෝගීතාව ද මෙහිදී නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක් විය.

2001 වසරේදී "Guidelines for the use of NON-EPI VACCINES" ලෙස ප්‍රථම සංස්කරණය නිකුත් වූ මෙම ග්‍රන්ථයේ 9 වන සංස්කරණය පරිච්ඡේද 41කින් සහ පිටු 498කින් සමන්විත වන අතර, ප්‍රමුඛ පෙළේ කතුවරුන් 33 දෙනෙකුගේ දායකත්වයෙන් සම්පාදනය කර ඇත.

සම්මානිත සංස්කාරක ලෙස වෛද්‍ය ලූෂන් ජයසූරිය මහතා කටයුතු කර ඇති අතර, වෛද්‍ය ඔමලා විමලරත්න, මහාචාර්ය ජෙනිෆර් පෙරේරා, වෛද්‍ය ගීතානි ගලගොඩ, වෛද්‍ය රජීව ද සිල්වා, වෛද්‍ය කාන්ති නානායක්කාර සහ වෛද්‍ය ධනුෂ්ක දසනායක යන අය සංස්කාරක මණ්ඩලය ලෙස කටයුතු කර තිබේ.

උත්සවයේදී ග්‍රන්ථයේ පළමු පිටපත සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා වෙත පිළිගැන්වූ අතර, ප්‍රධාන කතෘ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය විසින් ග්‍රන්ථය හඳුන්වා දෙන ලදී. අනතුරුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ළමා රෝග විද්‍යා පිළිබඳ මහාචාර්ය, වෛද්‍ය රුවන්ති පෙරේරා  විසින් ග්‍රන්ථය පිළිබඳ විශේෂ සමාලෝචනයක් ඉදිරිපත් කළාය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය මනිල්ක සුමනතිලක, එහි බෝවන රෝග පිළිබඳ විශේෂඥ කමිටුවේ ලේකම් වෛද්‍ය චමිලා දල්පදාදු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ශ්‍රී ලංකා නිත්‍ය නේවාසික නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජිරාඕ පාණ්ඩව් (Dr. Rajesh Sambhajirao Pandav), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නියෝජිත අසූසා කුබෝටා (Ms. Azusa Kubota) ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය වෘත්තිකයන් සහ ආරාධිත අමුත්තන් රැසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න