ලේක්හවුස් ආයතනයේ ඡායාරූප කර්තෘ, ප්රවීණ ඡායාරූප මාධ්යවේදී තිලක් පෙරේරා අභාවප්රාප්ත වී තිබේ. මහරගම අපේක්ෂා රෝහලේ දී අද (20) සවස ඔහු මෙලෙස අභාවප්රාප්ත වූයේය.
දශක තුනකට අධික කාලයක් ඡායාරූපකරණයේ නිරත වූ ඔහු සිනමාව, ක්රීඩාව, ප්රවෘත්ති හා යුද පුවත් ඡායාරූපකරණය සඳහා විශේෂඥතාවක් දැක් වූ ප්රකට ඡායාරූප ශිල්පියෙකි.
තලවතුගොඩ අග්රාමාත්ය විදුහලෙන් සිය ප්රාථමික අධ්යාපනය ද, කොළඹ සුසමයවර්ධන මහ විදුහලෙන් ද්විතීයික අධ්යාපනය ද ලැබූ ඔහු ඡායාරූප ශිල්පීන්ගේ සංගමයට සම්බන්ධ වෙමින් ඡායාරූපකරණයට අත්පොත් තැබීය.
ඉන්පසුව 'ලේක්හවුස්' ආයතනයේ සේවයට එක්වූ තිලක් පෙරේරා එහිදී විවිධ ඡායාරූප ගනිමින් සිටින අතරේ ප්රවීණ මාධ්යවේදී තිලකරත්න කුරවිටබණ්ඩාර ඔහුව 'සරසවිය' පුවත්පතට සම්බන්ධ කර ගත්තේය.
එහිදී සිනමාව, වේදිකා සහ ටෙලි කලාකරුවන් හා රංගන ශිල්ප ශිල්පිනියන්ගේ මෙන්ම සුපතල චරිතයන්ගේ ඔහු ගත් අගනා ඡායාරූපයන්ගෙන් 'සරසවිය' මුල් පිටු බොහෝ විට හැඩවිය.
සිළුමිණ පුවත්පතේ 'රසඳුන' අතිරේකය ආරම්භයේදී එහි සමාරම්භක සංස්කාරක ධර්මසිරි ගමගේ විසින් ඔහුව එම අතිරේකයට දායක කරගත් අතර එමගින් තිලක් පෙරේරාට 'රසඳුන' මුල් පිටුව මෙන්ම ධර්මසිරි ගමගේ සමග රට වටා සංචාරය කර චාරිකා සටහන් ලිපිවලට ඡායාරූපකරණයෙන් නිරත වන්නට ද අවස්ථාව සැලසුණි.
පසු කාලයක 'සන්ඩේ ඔබ්සර්වර්' පුවත්පතේ කර්තෘවරුන් වන ලක්ෂ්මන් ගුණසේකර හා ජයතිලක සිල්වා, දිනේෂ් වීරවංශ ද ඔහුව එම පුවත්පතට සම්බන්ධ කරගත් අතර එහිදී ප්රවෘත්ති, වනජීවි සහ ක්රිකට් ඇතුළු සියලුම විෂය බාහිර ඡායාරූප ගැනීම සඳහා ද ඔහුට ඉඩහසර වෙන්වුණි.
පසුව මානුෂික මෙහෙයුම සමයේ උතුරු නැගෙනහිර මෙහෙයුම අවසන් වනතුරුම සිය ජීවිත පරිත්යාගයෙන් යුද පුවත් ප්රවෘත්ති ඡායාරූප සැපයීමට පවා මුල් වූ ඔහු 'ලේක්හවුස්' ආයතනයේ සියලුම පුවත්පත් සඳහා ඡායාරූපකරණයෙන් දායක විය.
එමෙන්ම බූඩි කීර්තිසේනගේ 'මාතා' චිත්රපටයේ මෙන්ම එම්. සපීර්ගේ 'මම නෙවෙයි' වැනි නිර්මාණයන්හි නිශ්චල ඡායාරූප ශිල්පියා ලෙස ද ඔහු කටයුතු කළේය.
චාන්දනී අතුකෝරළ සමග විවාහපත්ව සිටින තිලක් පෙරේරා "ද මෝර්නින්" පුවත්පතේ උප කර්තෘවරියක වන තරිණි සරලා සහ තරුෂි නේත්රාගේ පියාය.
ඔහුගේ දේහය 351A, පන්නිපිටිය පාර, තලවතුගොඩ දරන නිවසේ තැන්පත් කර ඇත. අවසාන කටයුතු එළඹෙන බ්රහස්පතින්දා (22) සවස 3.00ට තලවතුගොඩ පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
