Image

කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධිය: සැකකරුවන් දෙදෙනා 28 දක්වා රිමාන්ඩ්!

කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධිය: සැකකරුවන් දෙදෙනා 28 දක්වා රිමාන්ඩ්!

කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ලබන 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහව මහේස්ත්‍රාත් අනුරාදා සෙනවිරත්න අද (19) නියෝග කළාය.

වලාන දූෂණ මර්දන අංශය මගින් අත්අඩංගුවට ගෙන වනජීවී නිලධාරීන් වෙත භාරදෙන ලද රත්නායක මුදියන්සේලාගේ ලක්මාල් පද්මසිරි සහ ශාන්ත ධර්මසිරි රත්නායක යන සැකකරුවන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සැකකරුවන් අද පස්වරුවේ වනජීවී නිලධාරීන් මාර්ගයෙන් මහව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර, ඔවුන්ට එරෙහිව වෙන් වෙන් වශයෙන් නඩු දෙකක් පැවරීමට කටයුතු කර තිබිණි.

 

චෝදනා සහ විත්තියේ තර්ක

මුලින්ම අධිකරණ ඉදිරියේදී රත්නායක මුදියන්සේලාගේ ලක්මාල් පද්මසිරි යන අයට විරුද්ධව පවරා ඇති නඩුව විභාගයට ගැනුණ අතර, වනජීවී දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නිලධාරියා අධිකරණ ඉදිරියේදී කරුණු දක්වමින් පෙන්වාදුන්නේ එම සැකකරු විමර්ශන මගින් අනාවරණ වූ කරුණු මත වලාන දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගෙන තමන්ට භාර දුන් බවයි.

එහිදී ඔහු සන්තකයේ ගිනි අවියක් තිබෙන බවත් බලපත්‍රයක් ඇතුව තබාගෙන සිටි එම ගිනි අවිය බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් සැකකරු කටයුතු කර තිබෙන බවත් සැකකරු එම ගිනි අවියෙන් කාවන්තිස්ස ඇතාට වෙඩි තබා ඇතැයි සැක පළ කරන බවත් වනජීවි නිලධාරින් කරුණු ඉදිරිපත් කළා.

කෙසේවෙතත්, සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදය රාජපක්ෂ කියා සිටියේ වනජීවී නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු පදනම් විරහිත බවයි. හස්තියාගේ මරණයෙන් පසු ඇති වූ නොසන්සුන් තාවය හමුවේ වලාන දූෂණ මර්දන අංශය විසින් බලපත්‍ර සහිත ගිනි අවි තිබූ කිහිපදෙනෙකු රැගෙන ගිය බවත්, සිය සේවාදායකයා මෙම අපරාධයට සම්බන්ධ බවට කිසිදු සාක්ෂියක් හෝ විද්‍යාත්මක පරීක්ෂණයක් සිදු කර නොමැති බවත් නීතිඥවරයා අවධාරණය කළේය.

දෙවන සැකකරු වන ශාන්ත ධර්මසිරි රත්නායක නමැත්තා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක වසර 20 ක සේවා කාලයක් සහිත නිලධාරියෙකු බවත්, ඔහුගේ වගාබිම් ආරක්ෂා කරගැනීමට බලපත්‍ර සහිත ගිනි අවියක් තිබුණද එය කිසි දිනෙක භාවිත කර නොමැති බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

 

මහේස්ත්‍රාත්වරියගෙන් වනජීවී නිලධාරීන්ට අවවාද

මෙහිදී මහේස්ත්‍රාත්වරිය වනජීවී නිලධාරීන්ගෙන් විමසා සිටියේ සැකකරුවන් හස්තියාට වෙඩි තැබූ බවට ඇති සාක්ෂි මොනවාද යන්නයි. ඊට නිසි පිළිතුරක් ලබාදීමට වනජීවී නිලධාරීන් අපොහොසත් වූ අතර, ඊළඟ නඩුවාරයේදී සැකකරුවන් නිකරුණේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට නොහැකි බව මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නාය.

සැකකරුවන් අදාළ අපරාධයට සම්බන්ධ වූ ආකාරය, නිශ්චිත දිනය, විද්‍යාත්මක සාක්ෂි සහ ඇසින් දුටු සාක්ෂිකරුවන් සිටී නම් ඒ පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු වාර්තාවක් ලබන 28 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය වනජීවී නිලධාරීන්ට අවවාද කළාය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න