රාජ්ය ආයතන තුළ සිදුවන අක්රමිකතා සහ නිලධාරීන්ගෙන් සිදුවන අසාධාරණ සැලකීම් පිළිබඳව මහජන පැමිණිලි භාර ගැනීම සඳහා රාජ්ය ආයතන තුළ 'අභ්යන්තර කටයුතු ඒකක' (Internal Affairs Units) පිහිටුවා ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමනායක පැවසීය.
'ප්රජා ශක්ති' ජාතික වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව දිස්ත්රික් ලේකම්වරුන්, ප්රාදේශීය ලේකම්වරුන් සහ දිස්ත්රික් සැලසුම් අධ්යක්ෂවරුන් දැනුවත් කිරීම සඳහා 'ටෙම්පල් ට්රීස්' (Temple Trees) හි පැවති වැඩසටහනකදී ඔහු මේ බව ප්රකාශ කළේය.
රාජ්ය ආයතන වලින් ජනතාවට අසාධාරණයක් උනොත් පැමිණිලි කරන්න තැනක් තිබිය යුතුයි
ආර්ථික අර්බුද සමයේ පැවති මහජන විරෝධතා සිහිපත් කළ ආචාර්ය කුමනායක, දූෂිත දේශපාලනඥයන්ට මෙන්ම රාජ්ය සේවකයන්ට ද ජනතාවගේ විවේචන එල්ල වූ බව සඳහන් කළේය. කෙසේ වෙතත්, නිලධාරීන්ට එරෙහිව ක්රියාමාර්ග ගැනීමට මහජනතාවට කිසිදු ක්රමවේදයක් නොතිබුණි.
"පසුගිය මැතිවරණයේදී දූෂිත දේශපාලනඥයන්ව නිවෙස් වෙත යවා නව බලවේගයක් බලයට පත් කිරීමට ජනතාවට අවස්ථාව ලැබුණා. නමුත් රාජ්ය නිලධාරීන්ව වෙනත් තැනකට මාරු කිරීමට හෝ ඔවුන්ව නිවෙස් වෙත යැවීමට ජනතාවට හැකියාවක් නැහැ. ඒ සඳහා කිසිදු ක්රමවේදයක් නොමැති නිසයි. යම් කාර්යයක් කරවා ගැනීමට රාජ්ය ආයතනයකට යන ජනතාවට එහිදී අක්රමිකතා, අසාධාරණකම් හෝ අයුතු සැලකීම්වලට මුහුණ දීමට සිදුවුවහොත්, ඒ පිළිබඳව පැමිණිලි කළ හැකි ස්ථානයක් තිබිය යුතුයි. රාජ්ය ආයතන තුළ 'අභ්යන්තර කටයුතු ඒකක' පිහිටුවීමට හේතුව එයයි," යැයි ඔහු පැවසීය.
දූෂණයට එරෙහිව ආරම්භයේදීම පියවර ගත යුතුයි
සමහර රාජ්ය සේවකයන් 'දූෂණය' යන්න නිවැරදිව වටහාගෙන නොමැති බවත්, තමන්ට පැවරී ඇති බලතල පෞද්ගලික වාසි ලබා ගැනීම සඳහා යොදා ගැනීම දූෂණය බවත් ඔහු පැහැදිලි කළේය. "මෙවැනි ක්රියාවන්ට එරෙහිව ආරම්භයේදීම පියවර නොගතහොත් සහ ඉහළ තනතුරුවල සිටින පුද්ගලයන් මෙලෙස කටයුතු කළහොත්, එය සාමාන්ය ක්රියා පටිපාටියක් බවට පත්වෙනවා," යැයි ඔහු සඳහන් කළේය.
දූෂණය හේතුවෙන් ආයෝජකයන් අධෛර්යමත් වී ඇති බවත්, අත්යවශ්ය ව්යාපෘති වෙනුවට අනවශ්ය ව්යාපෘති ක්රියාත්මක කිරීමට සිදුවී ඇති බවත් ආචාර්ය කුමනායක මහතා පැවසීය. තවද, රටේ ණය බර ඉහළ යාමටත්, ඉන්ධන ආනයනයට බලපාන විදේශ විනිමය හිඟයටත්, බදු බර වැඩි වීමටත්, දරිද්රතාව ඉහළ යාමටත් දූෂණය දායක වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. දූෂණය පෞද්ගලික අංශය දක්වා ද ව්යාප්ත වී ඇති බවත්, දූෂණය වැළැක්වීම සම්බන්ධයෙන් ජාත්යන්තර මට්ටමින් ශ්රී ලංකාව ඉතා පහළ ස්ථානයක පසුවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
"ඔබට අත්විඳීමට සිදුවන වැරදි ක්රියා සහ අසාධාරණකම් පිළිබඳව මෙම ඒකක වෙත වාර්තා කරන්න. අපි ඊට මැදිහත් වන්නෙමු," යැයි ඔහු පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්රතිචාර
