Image

වනාතවිල්ලුව ලැක්ටෝස්වත්ත පුපුරණ ද්‍රව්‍ය නඩුව: 'ගෆූර් මාමාට' බරපතල වැඩ සහිත වසර 12ක සිරදඬුවම්!

වනාතවිල්ලුව ලැක්ටෝස්වත්ත පුපුරණ ද්‍රව්‍ය නඩුව: 'ගෆූර් මාමාට' බරපතල වැඩ සහිත වසර 12ක සිරදඬුවම්!

පාස්කු ඉරිදා ම්ලේච්ඡ ප්‍රහාර මාලාව සිදුවීමට පෙර, 2018 ඔක්තෝබර් 1දා සිට 2019 ජනවාරි 16දා දක්වා පුත්තලම, වනාතවිල්ලුව ලැක්ටෝස්වත්ත ප්‍රදේශයේදී ත්‍රස්ත පුහුණු කඳවුරක් පවත්වාගෙන යාම, සහරාන් හශීම් හා හා මොහොමඩ් හස්තූන් සමග ගිනි අවියක් සජීවී උණ්ඩ දොළහක් (12) ඇතුළු  පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය වන ද්‍රව්‍ය තොගයක් නීතයානුකූල බලයක් නොමැතිව රැස්කිරීම ඇතුළු අධි චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව වරදකරුවන් බවට නිගමනය කළ, මොහොමඩ් සරිෆු ආදම් ලෙබ්බේ හෙවත්  ‘ගෆුර් මාමාට’ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහා අධිකරණය අද (28) බරපතල වැඩ සහිත වසර 12  බැගින් සිර දඬුවම් නියම කළේය.

මහාධිකරණ විනිසුරුවරුන් වන ලාල් රණසිංහ බණ්ඩාර (සභාපති), රශ්මි සිංගප්පුලි සහ නයෝමි වික්‍රමසේකර යන අයගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල විසින් දඬුවම් නියෝගය කළේය.

 

නඩු තීන්දුවේ ප්‍රධාන කරුණු:

ඒ අනුව අධි චෝදනා පත්‍රයේ සඳහන් 1,2,3, සහ 6, 7 යන චෝදනා පහකට වරද පිලිගැනිමෙන් අනතුරුව  විත්තිකරු එලෙස චෝදනා පහකට වරදකරු වූ අතර බරපතළ වැඩ සහිත වසර 60ක සිරදඬුවම් නියම කළේය.

එම සිරදඬුවම් කාලය එකවර එනම් වසර 12 කින් ගෙවී යන ලෙසද, ඔවුන් රැඳවුම් නියෝග සහ සිරදඬුවම් විදි වසර හතහාමාරක කාලය එකී වසර 12 සිරදඬුවම් කාලයෙන් අඩු කර ලබා දෙන ලෙසද නියෝග කලේය.

 

නඩුවේ ඉදිරි කටයුතු:

මෙම නඩුවේ හයවෙනි විත්තිකරු  වන සාජිත් මවුලවි ද වරද පිළිගැනීමට සූදානම් බව අද ප්‍රකාශ කළ අතර හෙට දිනයේ දී ඔහුට සම්බන්ධයෙන් ස්ථාවරය දැනුම් දිම සඳහා උදැසන 7.45ට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස  විනිසුරු මඬල්ල නියෝග  කළේය.

පුත්තලම මහාධිකරණයේ විභාග වූ මෙම නඩුවේ විත්තිකරුවන් තිදෙනකු පාස්කු මහ නඩුවේ විත්තිකරුවන් වීම නිසා එම නඩු සමගාමීව කාර්යක්ෂමව පවත්වාගෙන යෑම සඳහා කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට මාරු කෙරිණි. ඒ අනුව පුත්තලම මහාධිකරණය ඉදිරියේ විභාග වූ සාක්ෂි පිළිගෙන එතැන් සිට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ විභාගයට ගැනිණි.

 

පසුබිම:

මේ වන විට මියගොස් සිටින ෂැංග්‍රිලා සහ කටුවාපිටිය බෝම්බකරුවන් වන සහරාන් හෂීම් සහ ඔහුගේ සොහොයුරු වන මොහොමදු හස්තූන් සමඟ එක්ව ගිනිඅවි, පුපුරන ද්‍රව්‍ය සහ ඒවා නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තොගයක් නීත්‍යනුකූල බලයක් නොමැතිව එකතු කිරීම සහ එම ද්‍රව්‍ය භාවිත කර පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම, ඒවා එකතු කිරීම ඇතුළු චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන් 6 දෙනකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

එම චෝදනාවලට අමතරව සාහසික ක්‍රියා ඇති කිරීම මඟින් විවිධ ජන කොටස් නැතහොත් ආගමික කණ්ඩායම් අතර වාර්ගික, ජාතිවාදී අදහස් ව්‍යාප්ත කිරීම මඟින් එදිරිවාදිකම් ඇති කිරීමේ චෝදනාව යටතේ ද විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබේ.

ලැක්ටෝස්වත්තේ තිබී යූරියා නයිට්‍රේට් කිලෝග්‍රෑම් 100කට අධික ප්‍රමාණයක් ඇතුළු විශාල පුපුරන ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇත. තවද එහිදී ඩෙටනේටර් 99ක්, සජීවී උණ්ඩ 12ක්, පුපුරන ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන නයිට්‍රික් ඇසිඩ් සහ යූරියා තොගයක්, තුවක්කුවක්, සජීවී වෙඩි උණ්ඩ 12ක් සොයාගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ලැක්ටෝස්වත්ත ඉඩමේ හිමිකරු වන පළමු විත්තිකරු වන අබු හනීපා මොහොමඩ් මුෆීස් හෙවත් අබු දහිදා හට පාස්කු චුදිතයන්ට පුහුණු කඳවුරක් පවත්වාගෙන යෑම සඳහා ඉඩම බදු දීමේ චෝදනාව යටතේ නඩු පවරා ඇත.

පළමු චුදිත අබු හනීපා මොහොමඩ් මුෆීස් (අබු දහිදා)ට අමතරව අමීර් හම්සා මොහොමඩ් හමාස් (අබු සාෆියා), මොහොමඩ් සර්පු ආදම් ලෙබ්බෙ (ගෆූර් මාමා), මොහොමඩ් ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්), මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නවුෆර් (නවුෆර් මවුලවි) සහ මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිද් (සාජිද් මවුලවි) යන අය නඩුවේ සෙසු විත්තිකරුවෝ වෙති.

විත්තිකරුවන්ට එරෙහිව 1988 අංක 22 සහ 1982 අංක 10 දරන පනත්වලින් සංශෝධිත 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික) පනතේ 2(1)ඊ සහ 3(ආ) වගන්ති යටතේ සහ 2011 අංක 41 සහ 2013 අංක 03 දරන පනත්වලින් සංශෝධිත 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සම්මුති පනතේ 3(2අ) සමඟ කියවිය යුතු 3(4) වගන්ති යටතේ අධිචෝදනා 14ක් ගොනුකර ඇත.

රජයේ අධි නීතිඥ සජිත් බණ්ඩාර පැමිණිල්ල මෙහෙයවිය.

පුපුරන ද්‍රව්‍ය, යූරියා සාම්පල සහ විත්තිකරුවන්ගේ දුරකතන වාර්තා ඇතුළු නඩු භාණ්ඩ 92ක් හා සාක්ෂිකරුවන් 57 දෙනකු පැමිණිල්ල විසින් නම් කර ඇත. විත්තිකරුවන් ත්‍රස්ත පුහුණු කඳවුරු පවත්වාගෙන ගිය බව කියන පුත්තලම, කුරුණෑගල, කැකුණගොල්ල සහ උලපනේ යන ප්‍රදේශවල සිවිල් සාක්ෂිකරුවෝ සහ රජයේ නිලධාරීහු කිහිපදෙනෙක් රජයේ සාක්ෂිකරුවන් අතර වෙති.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න