Image

“කතානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට ඉඩ නොදෙන්නේ නම් එම සියලු චෝදනා ජනතාව හමුවේ තබනවා” - එස්.එම්. මරික්කාර්

“කතානායකට එරෙහි විශ්වාසභංගය විවාදයට ඉඩ නොදෙන්නේ නම් එම සියලු චෝදනා ජනතාව හමුවේ තබනවා” - එස්.එම්. මරික්කාර්

වර්තමානය වන විට ආණ්ඩුව තුළ පැහැදිලි බෙදීමක් ඇති වී තිබෙන බවත්, එම බෙදීම සැඟවීමට ආණ්ඩුව විවිධ උත්සාහයන් ගනිමින් සිටින බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසනවා. විශ්වාසභංගය අවස්ථාවේ ආණ්ඩුවේ එම බෙදීම රටම දැනගන්නට ලැබේවි යැයි බියෙන්, ආණ්ඩුව වහාම එම යෝජනාව විවාදයට නොගෙන සිටීමට තීරණය කර ඇති බවට මන්ත්‍රීවරයා චෝදනා කළේය.

එමෙන්ම කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නොගන්නේ නම්, ඉදිරි සතියේ සිට ජනතාව අතරට ගොස් කතානායකවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා එකින් එක ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද ඔහු අවධාරණය කළේය.

එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ කෝට්ටේ පිහිටි සමගි ජනබලවේග පක්ෂ මූලස්ථානයේ (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා…

“කතානායකවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ චෝදනා සැලකිල්ලට ගනිමින් අපි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළා. තමන්ට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් විමර්ශණයක් සිදුකිරීම‌ට විශේෂ කමිටුවක් පත්කළෙත් කතානායකවරයා විසින්මයි. ඒ කමිටුවේ නිර්දේශ සලකා බැලීමෙන් අනතුරුවයි මේ විශ්වාසභංගය භාරදුන්නේ. නමුත් තාක්ෂණික ගැටලු කිහිපයක් ඇති බව පවසමින් එය විවාදයට නොගන්නා බව ආණ්ඩුව දැනුම්දී තිබෙනවා. ඒ වගේම එයාලා කියනවා චෝදනා සැර වැඩියිලු. කොච්චර සැර වැඩි වුණත් අපි මේ කිසිදු චෝදනාවක් වෙනස් කරන්නේ හෝ ඉවත් කරන්නේ නෑ.

පාර්ලිමේන්තුවේ හිටපු සහකාර ලේකම්වරයෙක් කතානායකවරයාට විරුද්ධව ගොනු කර ඇති නඩුවක් මත පදනම්වයි ආණ්ඩුව මේ තාක්ෂණික දුර්වලතාව දක්වල තියෙන්නේ. නමුත් අපි කියන්න කැමතීයී ඒ නඩුව තවම විභාගයට අරගෙන නෑ. ඒ නිසා එය නඩුකරයක් ලෙස අර්ථ දැක්වීම වැරදියි. ඒ නිසා චෝදනා 50කින් සමන්විත මේ විශ්වාසභංග යෝජනාව විභාගයට අරන් පුලුවන් නම් ආණ්ඩුවේ හයිය පෙන්නන්න කියලා අපි අභියෝග කරනවා. ජනමතය තියෙනවා නම්, 159 තවදුරටත් බලගතු නම්  අපි කියනවා මේ විශ්වාසභංගය ගේන්න කියලා.  කොහොම කිව්වත් මේ පාර ආණ්ඩුවට ඒක ගේන්න ශක්තියක් නෑ. මොකද ආණ්ඩුව තුළ පැහැදිලි බෙදීමක් ඇති වෙලා තියෙන්නේ. විශ්වාසභංගය ගෙනාවොත් 159ක් පෙන්නන්න බැරිවෙනව. එහෙම වුණොත් බෙදීම රටටම පේනවා. ආණ්ඩුව ඒකට බයයි. ඒ නිසා විශ්වාසභංගය ගැන බොරු කියමින් ඒක සැගවීමට ආණ්ඩුව කටයුතු කළා.

විශ්වාභංගය සැගවීමට කටයුතු කළත්, අපි කනාතායකවරයා සිදුකර තිබෙන, වංචා සම්බන්ධයෙන් සහ ඔහුට ඉදිරිපත් කරලා තියෙන චෝදනා ගැන එකින්, එක ජනතාව දැනුවත් කරනවා. කතානායකගේ වැරදි පාර්ලිමේන්තුවේදී වැහුවත් රටට හෙළි කරන එක වහන්න ආණ්ඩුවට බෑ.”

වෙනසක් කිරීමට පොරොන්දු දෙමින් පැමි‍ණි මාළිමා නඩය, වෙනසක් වෙනුවට මහා විනාශයක් සිදුකර ඇතැයිද පැවැසූ එස්.එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, ගොඩනැගෙමින් පවතින මහජන විරෝධය මර්ධනයෙන් පාලනය කිරීමට අවශ්‍ය සැලසුම් අණපනත් ලෙස එළියට දැමීමටද ආණ්ඩුව පියවර ගනිමින් සිටින බවයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අහෝසි කරන බව කලින් පැවසුවද මේ වන විට ඊටත් වඩා භයානක මර්ධනකාරී පනත් සම්මත කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බව ද ඔහු අවධාරණය කළේය.

“මේ අලුත් පනතේ එක තැනක ‘ත්‍රස්තවාදය’ පිළිබද නිර්වචනයක් ඉදිරිපත් කරල තියෙනවා. ඒක ඉතා පුලුල් ප්‍රකාශයක්. ඒකට අනුව ඕනෑම ආකාරයේ මර්ධනයක් මුදාහැරීමට හැකි අවස්ථාව ආණ්ඩුව විසින් නිර්මාණය කර තිබෙනවා. කෙනෙක්ව අත්අඩංගුවට ගන්නත්, ඔහු හෝ ඇය අධිකරණ නියෝගයකින් තොරව මාස 02ක් රඳවා තැබීමටත් නියෝග ලබාදීමේ බලය නව පනත අනුව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාට හිමිවනවා. ඒ වගේම පොලිස් බලතල හමුදාවට හා වෙරළාරක්ෂක භටයින්ටත් දීලා තිබෙනවා. එහෙම අත්අඩංගුවට ගන්නා අයට නීති සහය ලබාගැනීමටවත් අවස්ථාවක් ලැබෙන්නේ නෑ. පැය 24ක් කාලයක් සඳහා රැස්වීම් තහනම් කිරීමේ බලයක් පොලිස් ස්ථානාධිපතිවරයාට ලබාදීලා තියෙනවා. ‘අවුරුදු 05කට අපිට දෙන්න’ ජනාධිපතිවරයා ජනාධිපතිවරයණයට කලින් එහෙම කීවේ මේකටද කියලා තමයි අහන්න තියෙන්නේ. ඒ වචන අහල බලය දුන්න ජනතාව අද දෙවේලක් කන්නෙත් ඉතා අමාරුවෙන්. තැන තැන පෝලිම් හැදෙනවා. බඩු මිල ඉහළ යනවා. ඩොලර් ලැබෙන්නේ නෑ. දවසින් දවස බදු ගහන එක තමයි ආණ්ඩුවේ තියරිය. තෙල්, විදුලිය, ගෑස් ඇතුලු හැම බලශක්තියක්ම ගණන් වැඩි කරනවා මිසක් අඩු කරපු දවසක් මතක නෑ. රට දවසින් දවස මේ තත්ත්වයට ඇද දමද්දී, ආණ්ඩුව දැන් කරන්නේ මර්ධනය දියත් කරන එක. ආණ්ඩුවේ පැවැත්ම තහවුරු කරගන්න ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි අණපනත් සම්මත කරනවා. මේ තත්ත්වය තුළ ඉදිරියේදී GSP සහනයත් රටට අහිමිවී යාමේ අවධානමක් නිර්මාණය වෙමින් තිබෙනවා.” යනුවෙන් එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න