‘’අද වන විට සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා ශක්තිමත් නීතියක් රටට අවශ්‍යව ඇති බවත්, ඒ සඳහා වන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත (OCA) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති “ඉවත්වෙනු” මෙහෙයුමේ වසරක ඇගයුම සහ ආගමික සමුළුව අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසුවේ, මෙම සංවිධානාත්මක අපරාධ පනත ගෙන ඒම තුළ ඇත්තේ කිසිසේත්ම ජනතාව මර්දනය කිරීමේ හෝ ජනතාවගේ අයිතිවාසිකම් නැති කිරීමේ අවශ්‍යතාවයක් නොවන බවයි.
"මේ නීතියට විරුද්ධ වෙන කණ්ඩායම් දෙකක් ඉන්නවා. එකක් හරි පැහැදිලියි - සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන් ඒ වරප්‍රසාද සහ ආරක්ෂාව ලබන කණ්ඩායම්. ඒක අපි ගණන් ගන්නේ නැහැ. හැබැයි තව කණ්ඩායමක් ඉන්නවා - අපේ රටේ ප්රජාතන්ත්රවාදය, මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් පිළිබඳ කතාකරන කණ්ඩායම්. අපි ඒ කණ්ඩායම එක්ක සාකච්ඡා කරන්න ලෑස්තියි.
කිසිසේත්ම ජනතාව මර්දනය කරන්න, ජනතාවගේ අයිතිවාසිකම් නැති කිරීමේ අවශ්‍යතාවයක් නෙමෙයි අපිට තියෙන්නේ. සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීම සඳහා නීතියක් අවශ්‍යයි; ඒ නීති හදන එකට අපි ලෑස්තියි," යැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම ,මෙම පනත මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ සාකච්ඡාවට ලක්වන්නට තිබෙන බවත්, පනතට විරුද්ධව අධිකරණය හමුවට ගිය පාර්ශ්ව මූලික වශයෙන් කරුණු තුනක් මතු කර ඇති බවත් ඒ පිළිබඳව සලකා බැලීමට රජය සූදානම් බවද හෙතෙම පැවසීය.
"දැනට ඒ පනතට විරුද්ධව අධිකරණයට ගියපු අය මූලික වශයෙන් කරුණු තුනක් මතු කරලා තිබෙනවා. එකක් - රඳවාගැනීමේ කාලය, මේ පනත ඇතුළේ රඳවාගැනීමේ කාලය පැය 72යි. ඒක වැඩියි කියලා යෝජනාවක් තිබෙනවා. සංවාදයක් තියෙනවා අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ. අපි ලෑස්තියි ඒක සංශෝධනය කරන්න - පැය 72ක කාලය පැය 48 දක්වා අඩු කරනවා. අපි සවන්දෙන්න ලෑස්තියි.
ඊළඟට ජාත්‍යන්තර වශයෙන් සකස් වුණු පච්ච කොටපු සංවිධානාත්මක කල්ලි, එය හඳුනාගන්න ලෝකයේ ප්‍රවණතාවයක් තියෙනවා, ඒ සඳහා වූ නීතිය අපේ රටේ නැත්නම්, දැනට අපිට ඒ නීතිය අවශ්‍ය නැත්නම් අපි ඒක අයින් කරන්න ලෑස්තියි.
තව නීතියක් තිබෙනවා "සුරාබදු ආඥා පනත යටතේ කෙරෙන වරදවල්වලට සංවිධානාත්මක අපරාධ පනත යටතේ කරන්න පුළුවන් කියලා. අපි සුරාබදු ආඥා පනත යටතේ වන වරදවල් සංවිධානාත්මක අපරාධ පනත යටතේ කරන්නේ නැහැ කියලා ඒකත් අයින් කරගන්නවා. ප්‍රශ්නයක් නැහැ. ඕක තමයි දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සාකච්ඡාවට බඳුන් වෙලා තියෙන පනතේ ප්‍රධාන කරුණු තුන. තව තියෙනවා නම් අපි ලෑස්තියි." යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වැඩිදුරටත් පැවැසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
