Image

අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර ධාරිතාව පුළුල් කිරීමට විශේෂ අවධානය!

අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර ධාරිතාව පුළුල් කිරීමට විශේෂ අවධානය!

මෙරට පිළිකා රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාර සේවා සපයන ප්‍රධානතම ජාතික සෞඛ්‍ය ආයතනයක් වන මහරගම ජාතික පිළිකා ආයතනය (අපේක්ෂා රෝහල) මගින් ක්‍රියාත්මක කරනු ලබන විකිරණ ප්‍රතිකාර සේවාවන්හි ධාරිතාව පුළුල් කරමින්, එම සේවාවන් වඩාත් විධිමත්, ශක්තිමත් හා කාර්යක්ෂම කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ පසු විපරම් කළමනාකරණ සමාලෝචන රැස්වීමක් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා  රෝහල් ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

පිළිකා රෝගීන් සඳහා විකිරණ ප්‍රතිකාර ලබාදීමේදී පවතින අවශ්‍යතා හඳුනාගෙන, ප්‍රතිකාර සේවාවන්හි ධාරිතාව ඉහළ නැංවීමත්, ප්‍රතිකාර සඳහා පවතින පොරොත්තු කාලය අවම කරමින් රෝගීන්ට කාලෝචිතව ප්‍රතිකාර ලබාදීමේ හැකියාව පුළුල් කිරීමත් මෙහිදී ප්‍රමුඛ අවධානයට ලක් විය. මීට පෙර පැවැති කළමනාකරණ සමාලෝචන රැස්වීමේදී ගනු ලැබූ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ද මෙහිදී විමසා බැලුණු අතර, විකිරණ ප්‍රතිකාර සේවාවන්හි ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

 

නව LINAC යන්ත්‍ර ලබා ගැනීම, CT Simulator පහසුකම් විධිමත් කිරීම

විශේෂයෙන්ම විකිරණ ප්‍රතිකාර සේවාවන් පුළුල් කිරීම සඳහා අත්‍යවශ්‍ය වන නව රේඛීය ත්වරණක යන්ත්‍ර (Linear Accelerator – LINAC) රෝහලට ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානය යොමු විය. එම යන්ත්‍ර මගින් විකිරණ ප්‍රතිකාර ලබාදීමේ ධාරිතාව ඉහළ නැංවීම, දැනට පවතින ප්‍රතිකාර සේවාවන්හි කාර්යක්ෂමතාව ශක්තිමත් කිරීම සහ වැඩි රෝගීන් පිරිසකට කඩිනමින් ප්‍රතිකාර ලබාදීම සඳහා ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කෙරිණි.

එමෙන්ම විකිරණ ප්‍රතිකාර ලබාදීමට පෙර රෝගියාට අවශ්‍ය ප්‍රතිකාර සැලසුම් කිරීම සඳහා භාවිත කරනු ලබන CT Simulator පහසුකම් විධිමත්ව හා අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් සම්පූර්ණ කිරීම, වෛද්‍ය උපකරණවල ක්‍රියාකාරීත්වය හා නඩත්තු කටයුතු විධිමත් කිරීම මෙන්ම විකිරණ ප්‍රතිකාර ක්‍රියාවලියට අදාළ අනෙකුත් උපකරණ හා පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව ද කරුණු සාකච්ඡා විය.

මෙහිදී රෝහල් අධ්‍යක්ෂවරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය සහ විශේෂඥ වෛද්‍යවරුන් විසින් විකිරණ ප්‍රතිකාර සේවාවන්හි පවතින අවශ්‍යතා, නව වෛද්‍ය තාක්ෂණික උපකරණවල අවශ්‍යතාව සහ එම සේවාවන් වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව නියෝජ්‍ය අමාත්‍යවරයා දැනුවත් කරන ලදී. විශේෂයෙන්ම නවීන වෛද්‍ය තාක්ෂණයෙන් සමන්විත උපකරණ භාවිතයෙන් ප්‍රතිකාර සැලසුම් කිරීමේ සිට ප්‍රතිකාර ලබාදීම දක්වා සමස්ත ක්‍රියාවලිය විධිමත් කිරීමේ වැදගත්කම මෙහිදී පැහැදිලි කරන ලදී.

WhatsApp Image 2026 11 05 at 11.37.31

විකිරණ ප්‍රතිකාර සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන්, විකිරණ චිකිත්සක තාක්ෂණවේදීන්, වෛද්‍ය භෞතික විද්‍යාඥයන් ඇතුළු තාක්ෂණික හා සහායක කාර්ය මණ්ඩලයේ මානව සම්පත් අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. පවතින සේවා අවශ්‍යතා හා කාර්ය මණ්ඩල පුරප්පාඩු සැලකිල්ලට ගනිමින් අදාළ මානව සම්පත් සපයා ගැනීම සහ සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ වැදගත්කම සාකච්ඡා විය.

රෝහලේ විකිරණ ප්‍රතිකාර සේවාවන් පුළුල් කිරීමේදී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ද සැලකිල්ලට ගනිමින්, මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයේ (CECB) තාක්ෂණික සහාය ඇතිව නව ප්‍රධාන සැලැස්මක් (Master Plan) සකස් කිරීමේ ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනයට ලක් විය. රෝහල් පරිශ්‍රයේ පවතින ඉඩකඩ උපරිම ඵලදායීතාවයකින් ප්‍රයෝජනයට ගනිමින්, ඉදිරි ප්‍රතිකාර අවශ්‍යතා හා තාක්ෂණික සංවර්ධනයට ගැළපෙන පරිදි යටිතල පහසුකම් සැලසුම් කිරීමේ වැදගත්කම ද පෙන්වා දෙන ලදී.

මීට අමතරව, රෝහලේ අනෙකුත් සායනික හා පරිපාලන සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා වායුසමීකරණ පද්ධතිවල ක්‍රියාකාරීත්වය, වෛද්‍ය උපකරණ නඩත්තු කිරීම, රෝහල් සේවා ඩිජිටල්කරණය, අන්තර්ජාල පහසුකම් ශක්තිමත් කිරීම සහ කාර්ය මණ්ඩලයේ වෘත්තීය ගැටලු විසඳීම සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණි.

අපේක්ෂා රෝහලේ විකිරණ ප්‍රතිකාර සේවාවන් යනු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණෙන පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර ක්‍රියාවලිය තුළ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරන සේවාවක් බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, එම සේවාවන්හි ධාරිතාව හා ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා අවශ්‍ය භෞතික හා මානව සම්පත් සපයා දෙමින් හඳුනාගත් සංවර්ධන කටයුතු කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අවධාරණය කළේය.

මෙම අවස්ථාවට මහරගම ජාතික පිළිකා ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුරංග දොලමුල්ල, නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සංකේතා ෆ්‍රැන්සිස්  ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙද නිලධාරීන් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

WhatsApp Image 2026 11 05 at 11.37.33 1

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න