Image

S&P Global ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ‘B-/B’ දක්වා ඉහළ නංවයි

S&P Global ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම ‘B-/B’ දක්වා ඉහළ නංවයි

ශ්‍රී ලංකාවේ දිගුකාලීන විදේශ හා දේශීය මුදල් ණය ශ්‍රේණිගත කිරීම ‘CCC+/C’ සිට ‘B-/B’’ මට්ටම දක්වා ඉහළ දැමීමට ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන  S&P Global Ratings ආයතනය පියවර ගෙන තිබේ.

ඒ අනුව එම ශ්‍රේණිගත කිරීම් වල ඉදිරි දැක්ම ‘ස්ථාවර’ මට්ටමේ පවතින බවයි එම ආයතනය නිවේදනය කර ඇත්තේ.

ලංකාවේ රාජ්‍ය මූල්‍ය හා බාහිර තත්ත්වයන්හි දියුණුව තවදුරටත් තහවුරු වෙමින් පවතින බව S&P ආයතනය සිය වාර්තාවේ වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ කෙටිකාලීන විදේශීය හා දේශීය මුදල් ණය ශ්‍රේණිගත කිරීම්ද ‘C’ සිට ‘B’ දක්වා ද නැංවීමට කටයුතු කර ඇත.

 

මීට හේතු සාධක මොනවාද?

ආදායම් වර්ධනය ශක්තිමත්ව පැවතීම, විදේශ සංචිත අඛණ්ඩව ඉහළ යෑම සහ ආර්ථික වර්ධනය ඔරොත්තු දෙන සුළු වීම ඊට ප්‍රධාන හේතු වී තිබේ.

 

බදු ආදායම දෙගුණ වුණා

2022 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 7.3%ක් වූ රජයේ ආදායම, 2025 වසරේදී 13.5%ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ බදු ප්‍රතිසංස්කරණ, බදු පරිපාලනය ශක්තිමත් කිරීම සහ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම නිසාය. විශේෂයෙන් වැට් බදු අනුපාතය 15% සිට 18% දක්වා ඉහළ දැමීම, වැට් නිදහස් කිරීම් අඩු කිරීම සහ ඒකක බදු ඉවත් කිරීම ආදායම වැඩිවීමට හේතු වී ඇත.

2026 වසරේ මුල් මාස 9 තුළ බදු ආදායම පසුගිය වසරට වඩා 22%කින් වැඩි වී තිබේ. එමගින් ප්‍රාථමික අයවැය අතිරික්තය දළ දේශීය නිෂ්පාදිතයෙන් 2.3%ක් වන ඉලක්කය ඉක්මවා යනු ඇතැයි S&P අපේක්ෂා කරයි.

 

සංචිත බිලියන 7.2ක්

2026 ඔක්තෝබර් අවසන් වන විට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 7.2ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය 2024 අවසානයේ පැවති බිලියන 6.1ට වඩා වැඩි අගයකි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ ලැබුණු මුදල්, සංචාරක ආදායම ඉහළ යෑම සහ විදේශ ප්‍රේෂණ වර්ධනය ඊට හේතු වී ඇත.

ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කර ඇති අතර, 2028 වසරේදී යුරෝ බැඳුම්කර ගෙවීම් ආරම්භ වන තුරු ණය සේවා බර කළමනාකරණය කරගත හැකි මට්ටමක පවතී.

 

ආර්ථිකය 4.5%කින් වර්ධනය වෙයි

2026 වසරේ ආර්ථික වර්ධනය 4.0%ක් ද, 2027 වසරේ 4.5%ක් ද වනු ඇතැයි S&P අනාවැකි පළ කරයි. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 2026 දී ඩොලර් 5,200 දක්වාත්, 2029 දී ඩොලර් 6,400 දක්වාත් ඉහළ යනු ඇතැයි සඳහන්ය.

විදේශ ප්‍රේෂණ මේ වසරේ ඩොලර් බිලියන 7.4ක් දක්වා ඉහළ යනු ඇතැයි ද, සංචාරක පැමිණීම් මිලියන 2.6 ඉක්මවනු ඇතැයි ද වාර්තාවේ දැක්වේ. උද්ධමනය 2026 දී 2.5%ක් සහ 2027 දී 3.5%ක් ලෙස පාලනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

අවදානම් ද තිබේ

කෙසේ වෙතත්, මැදපෙරදිග යුද්ධය නිසා ඉන්ධන මිල ඉහළ යෑම, එල් නිනෝ තත්ත්වය නිසා කෘෂිකර්මාන්තයට ඇතිවිය හැකි බලපෑම සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ප්‍රමාද වීම අවදානම් ලෙස S&P පෙන්වා දෙයි. එසේම 2028 සිට ණය ගෙවීම් ඉහළ යෑමත් අභියෝගයකි.

එහෙත් ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට රජය ගෙන යන ප්‍රතිපත්ති දිගටම ක්‍රියාත්මක වනු ඇතැයි විශ්වාස කරන බවත්, ඉදිරි මාස 6 සිට 12 දක්වා කාලය තුළ ලංකාව ඔරොත්තු දෙන සුළු වනු ඇතැයි අපේක්ෂා කරන බවත් S&P අවධාරණය කරයි.

ආදායම් තවදුරටත් වැඩි වුවහොත් සහ සංචිත ගොඩනැගුණහොත් ඉදිරියේදී ශ්‍රේණිගත කිරීම තවත් ඉහළ දැමිය හැකි බවද එම ආයතනය පවසයි.

-ජේ.මුණසිංහ-

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන | අමතන්න