Language Switcher

V2025

හිතුමතේ හිරේ දැමීමට ශ්‍රී ලංකාවේ උසාවි ක්‍රමයත් හවුල් - එක්සත් ජාතීන් කියයි

රජයේ ආරාධනයෙන් කරණ ලද දස දින නිල සංචාරයක් හමාරකරමින් අත්තනෝමතික රඳවා තබා ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවේ විශේෂඥයන් ප්‍රකාශ කර සිටියේ පුද්ගලික නිදහස පිළිබඳ අයිතියට ශ්‍රී ලංකාවේ “මේතාක් ගෞරවයක් ලබා දී නැති” බවයි.

ඒ සම්බන්ධයෙන් අධිකරණයේ ක්‍රියාකලාපයත් කමිටුවේ ප්‍රධානී ආචාර්ය හොසේ අන්තෝනියෝ ගෙවාරා බර්මියුඩේස් ගේ නායකත්වයෙන් යුත් ත්‍රිපුද්ගල මණ්ඩලයේ විවේචනයට ලක්වී තිබුනි.

“නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන්, ආරක්ෂක හමුදා, අධිකරණ හා අනිකුත් බලධාරීන් විසින් පුද්ගලික නිදහස සඳහාවූ අයිතියට මේතාක් ගෞරවයක් ලබා දී නැති” කමිටුව නිකුත් කළ නිවේදනයක සඳහන් කර තිබේ.

සැකකරුවන් දින නියමයක් නැතුව රැඳවුම් භාරයේ පසුවන විට උසාවි කටයුතු දීර්ඝ හා අයුක්ති සහගත ලෙස කටයුතු කල් පමා වන බව පෙන්වා දෙන ඔවුන් කියා සිටින්නේ වරද ඔප්පුවන තුරු නිර්දෝශී භාවය පිළිගැනීමේ සහ නිසි ක්‍රියා පටිපාටියකට මුහුණ දීමේ අයිතිය මුළුමනින්ම තහවුරු වී නැති බවයි.

 එකොලොස් දාහක් නඩු නැතිව හිරේ:

 ශ්‍රී ලංකාවේ බන්ධනාගාරගත සමස්ත ජනගහනය වන 20,598 න් අඩකට වැඩි පිරිසක් නඩු නැතිව අතිශය දීර්ඝ කාලයක් සිරගතකොට තබා සිටින්නන් බව විශේෂඥ මණ්ඩලය සිය නිරීක්ෂණ අඩංගු පිටු 16ක මූලික වාර්තාවේ සඳහන් කොට ඇත.

එම පිරිස 11,009 කි.

“නඩු පැවරීමට පෙර අවුරුදු 3-4 ක් රඳවා තබා ගැනීම පොදුවේ සිදු වන අතර ඇතැම් අවස්ථාවල එය අවුරුදු දහයක් දක්වා කාලයක් තරම් දික්වේ,” යි එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ පවසති.

“ඉන් අනතුරුව ඇත්තේ දීර්ඝ නඩු විභාගයකි. නඩු පැවරීමට පෙර රඳවා තබාගත් කාලය අවසාන සිර දඬුවම නියම කිරීමේදී සැමවිටම සැලකිල්ලට නොගන්නා අතර එය විනිසුරු ගේ අභිමතය පරිදි වේ.”

 දෙමළ විරෝධී ත්‍රස්ත පනත:

 ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගනු ලබන පුද්ගලයන් සම්බන්ධයෙන් ගත් කල සාමාන්‍ය තත්වයටත් වඩා දීර්ඝ කාලයක් නඩු නැතිව සිරගත කර තබාගන්නා බව නිරීක්ෂණය කර ඇති ක්‍රියාකාරී කමිටුව, ඒ පනත යොදාගෙන අවුරුදු 10 සිට අවුරුදු 22ක් තරම් කල් රඳවා තබා සිටි පුද්ගලයන් පිළිබඳව වාර්තා වී ඇතැයි පවසයි.

එම පනත දෙමළ ජනතාවට වෙනස්කම් පෑමට යොදාගන්නා බව විශේෂඥ මණ්ඩල වාර්තාව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ බලධාරීන් විසින් සපයා ඇති සංඛ්‍යාලේඛන අනුව ත්‍රස්ත පනත යොදාගෙන රිමාන්ඩ් ගතකර ඇති සංඛ්‍යාව 69 කි. එයින් 59ක්ම දෙමළය. නඩු නැතිව රඳවාගෙන සිටින 17න් 10ක්ම දෙමළය.

අත් අඩංගුවේ දී වධබන්ධන ඇතුළු විවිධාකාර අඩන්තේට්ටම් වලට ගොදුරු වන දෙමළ රැඳවියන්ට තමන් නොදන්නා සිංහලෙන් ලියැවුනු පාපොච්චාරණ වලට අත්සන් කරන්නට සිදුවීම සම්බන්ධ සිද්ධි ගණනාවක් එක්සත් ජාතීන්ගේ නියෝජිතයන්ට වාර්තා වී තිබේ.

එම වධහිංසා සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල වී ඇත්තේ රහස් පොලිසියට (CID) සහ ත්‍රස්ත විමර්ශන ඒකකයටයි (TID).

 දෙමළ සැකකරුවන්ගේ නඩු වවුනියාවෙන් අනුරාධපුරයට :

 එමෙන්ම, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ චෝදනා නගා ඇති දෙමළ සැකකරුවන්ගේ නඩු වවුනියාව මහාධිකරණයේ සිට සිංහලෙන් නඩු අසන ත්‍රිකුණාමලයට සහ අනුරාධපුරයට මාරුකර යැවීමද යුක්තිය ඉටු කිරීමට බාධාවක් බව එහි සඳහන් වෙයි.

අනුරාධපුරයට මාරු කර යවා ඇති නඩුවල සැකකරුවන්ගෙන් 17 ක්ම දෙමළ බව පෙන්වා දෙන විශේෂඥ මණ්ඩලය “උසාවියේදී දෙමළ සැකකරුවකුට භාෂාව නිසා ඇතිවන අවහිරය ඔවුන්ට සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමට ඇති අයිතියට බරපතල ලෙස බාධා පමුණුවන බව” අවධාරණය කරයි.

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සිරගත කොට සිටින්නන්ට ඇප නියම කිරීම සඳහා නීතිපති අනුමැතිය නොලැබීම ඔවුන්ට දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටීමට බලපා තිබෙන බව වාර්තාව පෙන්වා දෙයි.

පුද්ගල නිදහස අත්තනෝමතික ලෙස අහිමි කරන ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහාම අහෝසි කරන ලෙස එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුව ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

 පූන්තෝට්ටම් වසා දමන්න:

poonthottam 1

 පනත යොදාගෙන අත් අඩංගුවට ගෙන සිටින හිටපු එල්ටීටීඊ සාමාජිකයන් බවට සැකකෙරෙන්නන් රඳවාගෙන සිටින වව්නියාවේ පූන්තෝට්ටම් පුනරුත්ථාපන කඳවුර වහාම වසාදමා එහි ඉතිරිව ඉන්නා සියලුම රැඳවියන් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ද එජා විශේෂඥ මණ්ඩලය රජයට බලකර සිටී.

කලින් නිදහස් කර යැවුවන් ඇතුළු ඔවුන්ගේ ඥාතීන් නිරන්තරයෙන්ම අඩන්තේට්ටමටත්, සෝදිසියටත් ලක්වන බවට වාර්තා ශ්‍රී ලංකාවේදී විශේෂඥයන්ට ලැබී තිබේ.

මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් ගතවූ වසර තුන තුළදීත් විදේශ ගතවී සිට ආපසු පැමිණෙන දෙමළ පුද්ගලයන් අත් අඩංගුවට ගෙන වධහිංසා පැමිණවීම පිළිබඳ විස්තර තමන්ට ලැබුනු බව පවසන එක්සත් ජාතීන්ගේ නියෝජිතයෝ, දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටින සිවිල් සමාජ සංවිධාන, මාධ්‍යවේදීන්, නීතිඥයන්, ක්‍රියාධාරීන් සහ මානව හිමිකම් ආරක්ෂකයන් තර්ජනයටත් අඩන්තේට්ටමටත් ගොදුරු වීම පිළිබඳ තොරතුරු වාර්තා වූ බව වැඩිදුරටත් කියා සිටී.

අත්තනෝමතික සිරගත කිරීම් අත් හිටුවීම සඳහා දෙන ලද නිර්දේශ මුළුමනින්ම ක්‍රියාවේ යොදවන ලෙස එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කමිටුවේ හොසේ අන්තෝනියෝ ගෙවාරා බර්මියුඩේස්, ලී ටූමි සහ එලීනා ස්ටයිනර්ට් සිය මූලික නිරීක්ෂණ ඉදිරිපත් කරමින් ආණ්ඩුවෙන් ඉල්ලා තිබේ.

ක්‍රියාකාරී කමිටුව තම ශ්‍රී ලංකා නිරීක්ෂණ පිළිබඳ අවසන් වාර්තාව 2018 සැප්තැම්බරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිත බව එක්සත් ජාතීන්ගේ කොළඹ කාර්යාලය දැනුම් දෙයි.

(radiogagana)