පැයට 60යි: පාසල් පරිගණක මධ්‍යස්ථාන කුළියට

පැයට 60යි: පාසල් පරිගණක මධ්‍යස්ථාන කුළියට

පාසල් සතු පරිගණක මධ්‍යස්ථාන භාවිතය ටෙක් ශ්‍රී ලංකා නම් සමාගමට ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය ගෙන ඇති තීරණය සම්බන්ධව ලංකා ගුරු සංගමය විරෝධය පළකර සිටියි.

රාජ්‍ය දේපල අවභාවිතයක්

මේ සම්බන්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ලංකා ගුරු සංගමය එහිදී වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රාජ්‍ය දේපලක් පෞද්ගලික සමාගමකට ලාභ ඉපයීමට ලබාදීම රාජ්‍ය දේපල අවභාවිතා කිරීමක්ද වන බවය.

 ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනය අනුව පාසල්වලට පිහිටි පරිගණක සම්පත් මධ්‍යස්ථාන මුදල් අයකර පාඨමාලා පැවැත්වීමට ටෙක් ශී‍්‍ර ලංකා ආයතනයට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණය 2017.08.03 දිනැති ED/08/26/05/11/01 අංකයෙන් යුතු අධ්‍යාපන ලේකම් වෙනුවට අධ්‍යක්ෂක (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ) අත්සනින් පරිගණක සම්පත් මධ්‍යස්ථානවලට යොමුකර ඇත.

පැයකට 60යි

‘‘ටෙක් ශී‍්‍ර ලංකා ආයතනය මගින් පවත්වන පාඨමාලා සඳහා පරිගණක සම්පත් මධ්‍යස්ථානවල ඉඩකඩ පහසුකම් ලබාදීම - 2017’’ යන ශීර්ෂයෙන් යුතු එම ලිපියට අනුව ටෙක් ශී‍්‍ර ලංකා ආයතනය පවත්වන පාඨමාලා සඳහා සම්පත් මධ්‍යස්ථානවල ඉඩකඩ මුදල් අයකොට ලබාදිය යුතු බවත් පරිගණක සම්පත් මධ්‍යස්ථාන ලබාදීමේදී අන්තර්ජාල පහසුකම් සහිත පරිගණයක් සඳහා පැයකට රු.60/- බැගින් ද, මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් පැය 05 ක් සේවය කළහොත් රු.500/- ක් ද, පැය 05 කට වැඩි නම් රු.750/- ක් ද ගෙවන බවත් සඳහන් කර තිබේ.

එසේම මේ වන විට ටෙක් ශී‍්‍ර ලංකා ආයතනයේ සභාපති නෙරංජන් නානායක්කාර නමැති පුද්ගලයෙකුගේ අත්සනින් අදාළ පරිගණක සම්පත් මධ්‍යස්ථාන කළමනාකරුවන් දැනුවත් කර ලිපියක් යොමුකර ඇති බවත් ඊට අනුව ඔවුන් 6 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා ශිෂ්‍ය ශිෂ්‍යයාවන් ඉලක්ක ගත කර මුදල් අයකොට පාඨමාලා ආරම්භ කරන බව දන්වා ඇති බවද ලංකා ගුරු සංගමයේ නිවේදනයේ දැක්වේ.

චක්‍රලේඛ උල්ලංඝණය කරලා

මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දක්වන ලංකා ගුරු සංගමය පෙන්වා දෙන්නේ මහජන මුදලින් නඩත්තු කරන රජයේ සම්පත් පුද්ලික ආයතනවලට ලාභ ඉපයීමට ලබාදීම රජයේ දේපළ අයථා ලෙස භාවිත කිරීමක් වන බවත් හිටපු අධ්‍යාපන ලේකම් එස්.එම්. ගෝඨාභය ජයරත්න මහතා 2012.08.10 දින නිකුත් කළ 2012/25 දරණ චක‍්‍රලේඛයේ මෙවැනි කුලියටදීම් සිදු නොකළ යුතු බවට ඇති චක්‍රලේඛයද මේ හරහා උල්ලංඝණය වන බව පෙන්වා දෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න