Language Switcher

V2025

රනිල් මහින්ද මෛත්‍රී තුන තල් රා, පොල් රා, කිතුල් රා වගේ

තල් රා, පොල් රා, කිතුල් රා, වෙනස්ව පෙනුනත් සියල්ල තාල වර්ගයේ මෙන් රනිල්, මහින්ද මෛත්‍රී යන කණ්ඩායම්ද පාර්ශව තුනක් ලෙස පෙනෙන එකම කඳවුරක් බවත් ඔවුන් යටතේ දූෂිතයන් පාදඩයන් සල්ලාලයන්ගේ තිප්පොළවල් බවට පත්වී තිබෙන ප‍්‍රාදේශීය සභා ජනතාවගේ නියෝජිත ආයතන බවට පත්කිරීමේ අභියෝගය ජනතා විමුක්ති පෙරමුණ බාරගන්නා බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කරයි.

අනුර දිසානායක මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ 17 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාගාරයේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ පළාත් පාලන අපේක්ෂක සමුළුව අමතමින්ය.

එහිදී සමුළුව අමතමින් ඔහු මෙසේද පැවසීය.

අපි ඉදිරියේ තියෙන්නේ 2015 මාර්තුවල පවත්වන්න නියමිතව තිබුණු මැතිවරණයක්. අවුරුදු තුනකට ආසන්න කාලයක් මැතිවරණය කල් ගිහිල්ලා. පළාත් පාලන ආයතනයක නිල කාලයම අවුරුදු හතරයි. ඡන්දය කල් දාන්න ආණ්ඩුවට විවිධ දේශපාලන වුවමනාවල් තිබුණා. අද අපි මේ ඡන්දයට මුහුණ දෙන්නේ 2012 වසරේදී පාර්ලිමේන්තුවේ සම්මත කරගත් ඉතාම විකෘති ඡන්ද ක‍්‍රමය යටතේ නොවෙයි.

විකෘති ජන්ද ක්‍රමය වෙනස් කළා

බහු පක්ෂ දේශපාලනය මුළුමනින්ම අකුලා දමා ද්වි පක්ෂ දේශපාලනයකට දොරටු විවෘත කරන විකෘති ක‍්‍රමයක් තිබුණේ. 2017 සැප්තැම්බර් මාසයේදී ඒ ඡන්ද ක‍්‍රමය වෙනස් කොට, ජනතාවට හිතවාදී මැතිවරණ ක‍්‍රමයක් ඇතිකර ගන්න ජනතා විමුක්ති පෙරමුණ දැවැන්ත කාර්ය භාරයක් ඉටුකළා. ඒ ජයග‍්‍රහණයන් සමග ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෙස ජනතාවට තමන්ගේ නියෝජිතයා තෝරා පත්කර ගැනීමේ අරමුණට පටහැනිව යම් දේශපාලන කඳවුරකට බලය තහවුරුකර ගැනීමේ සීමා නිර්ණයකුත් තිබුණා. මේ තත්ත්වයත් වෙනස්කර ගන්න අභියාචනා කොමිෂන් සභාවක් හරහා අපිට හැකි වුණා.

අශෝක සහ උපුල් ජවිපෙ සමඟ

ඒ අභියාචනා කොමිෂන් සභාවේ සභාපති හැටියට කටයුතු කළ අශෝක පීරිස් මැතිතුමා ඒ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළ නීතිඥ උපුල් කුමරප්පෙරුම මැතිතුමාත් මේ සමුළුවට සහභාගි වී ඉන්නවා. මේ වගේ ජයග‍්‍රහණ එක්කයි මේ මැතිවරණයට අපි එකතු වෙලා ඉන්නේ.

ජනාධිපතිට අභියෝග කළා

මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කණ්ඩායම මැතිවරණය කල් දාගන්න අධිකරණ කි‍්‍රයාමාර්ගවලට ගිය බව අපි දන්නවා. ඉන් දවස් තුනකට පස්සේ එතුමා පාර්ලිමේන්තුවට ආවා. එතකොට අපි කතාකරමින් සිටියා. එදා අපි එතුමාට බල කරලා, අභියෝග කරලා, කිව්වා ඔයාගේ චක්ගෝලයන්ට කියලා මේ නඩුව ඉල්ලා අස්කර ගන්න කියලා. ඡන්දය කල් දාන්න පවරා තිබුණු නඩුව සතියක් යනකොට ඉල්ලා අස්කර ගත්තා. ජනතා විමුක්ති පෙරමුණ මෙම මැතිවරණයට අවතීර්ණ වෙන්නේ ඡන්දය කල්දාන්න ආණ්ඩුව විවිධ උපක‍්‍රම අනුගමනය කළ වෙලාවක, ඒ සියලූ කුමන්ත‍්‍රණ පරාජය කළ ජයග‍්‍රහණයත් එක්කයි. පළාත් පාලන මැතිවරණය කියන්නේ ජනතාවගේ ගම්වල තිබෙන ප‍්‍රශ්න විසඳා ගන්න නියෝජිතයන් පත්කර ගන්නා මැතිවරණයයි. නමුත් තෝරා යැවූ අය කරල තියෙන්නේ මොනවාද? පුවත්වල පළවූ තෝරාගත් කිහිපයක් ගැන මම කියන්නම්.

පළාත් පාලන ලොක්කන්ගේ කෙරුවාව

‘මාවනැල්ල ඩිපෝ අධිකාරිට අරණායක සභාපති පහරදෙයි’, ‘නියාගම සභාපතියි, ගෝලයොයි යුවලකට තුවාල වෙන්න ගහලා’, ‘කොලොන්නාව නගර සභාවේ සභාපති, උප සභාපති සමග ගුටි හුවමාරුවක’, ‘සිසුන් හතරක් සහ සිසුවියන් හතර දෙනෙකුට පහරදුන් හිටපු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර සොයා පොලිස් පරීක්ෂණ’, ‘බැංකුවට පැන බිරියට පහරදුන් සන්ධාන මන්තී‍්‍ර අල්ලන්න අධිකරණ නියෝගයක්’, ‘පොස්පේට් සේවකයන්ට පහරදුන් තලාව ප‍්‍රාදේශීය මන්තී‍්‍ර රිමාන්ඞ් භාරයට’, ‘පුද්ගලයෙකුට පහරදීම නිසා බියගම ප‍්‍රාදේශීය සභාවේ සන්ධාන මන්තී‍්‍ර අත්අඩංගුවේ’, ‘සංචාරක හෝටලයේ කළමනාකරුට පහරදී දේපළවලට හානි කළ බදුල්ල නගර සභාවේ සන්ධාන මන්තී‍්‍ර රිමාන්ඞ් භාරයේ’, ‘කාන්තාවකට පහරදුන් කතරගම මන්තී‍්‍ර ඇපමත මුදාහරී’, ‘පොලිස් කොස්තාපල්ට පහරදුන් ඇඹිළිපිටිය ප‍්‍රාදේශීය සභා සභාපති රිමාන්ඞ් භාරයේ’, ‘වාරිමාර්ග නිලධාරියෙකුට පහරදුන් කරුවලගස්වැව සභාපති රිමාන්ඞ් භාරයේ’, ‘මීගමුව නගර සභාවේ සන්ධාන මන්තී‍්‍ර ජේලර්ගේ කන පලයි’, ‘පෑලියගොඩ සභාපති සහ උපසභාපති ගුටි ඇන ගනිති’, ‘බුලත්සිංහල පොලිසියට පහරදුන් ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර ගමෙනුත් පැන ගිහින්’, ‘දැරණියගල ප‍්‍රාදේශීය සභා සභාපති කී‍්‍රඩකයෙකුට පහරදී අත්අඩංගුවේ’, ‘වෛද්‍යවරයෙකුගේ බිරියකට තර්ජනය කළ සන්ධාන මන්තී‍්‍රට ලක්ෂ දෙකක ඇප’, ‘බෙන්තොට ප‍්‍රාදේශීය සභාවේ සභාපති උපසභාපතිගේ දතක් ගලවයි’, ‘අල්ලස්ගෙන වලල්ලාවිට ප‍්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට’, ‘යටියන්තොට ප‍්‍රාදේශීය සභා සභාපති අල්ලස් ගනිද්දී අත්අඩංගුවට’, ‘හිඟුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිගේ හොර වාහන අටක් අල්ලයි’, මේ වගේ තව විශාල ලැයිස්තුවක් මා අතේ තිබෙනවා.

පසුගිය කාලය පුරාම, හොරුන්ගේ දූෂිතයන්ගේ සහ දාමරිකයන්ගේ ගුහාවක් බවට ප‍්‍රාදේශීය සභා පත්කරගෙන තිබුණා.

ජවිපෙ වගකීම

ඒ නිසා, අද අපිට වගකීමක් පැවරී තිබෙනවා. දූෂිතයන්ගේ, පාදඩයන්ගේ, සල්ලාලයන්ගේ තිප්පොළවල් බවට පත්වී තිබෙන, මේ ප‍්‍රාදේශීය සභා ජනතාවගේ නියෝජිත ආයතන බවට පත්කිරීමට. ඒ අභියෝගය සහ වගකීම ජනතා විමුක්ති පෙරමුණේ ඔබ අප හැමට තිබෙනවා. අපි ඒ කාර්ය භාරය ඉටුකළ යුතුව තිබෙනවා. ඒ ඇයි? උඩ ඉන්න ජාතික මට්ටමේ වංචනිකයන්ගේ, දූෂිතයන්ගේ පාලනයේ ආරක්ෂාව වෙනුවෙන් ප‍්‍රාදේශීය සභා යාන්ත‍්‍රණය ගොඩනඟලා තිබෙනවා. ඇමතිගේ ඡන්දයට වැඩකරන්න, ඇමතිගේ කොන්ත‍්‍රාත් එක කරල දෙන්න ඉහළ දේශපාලන යාන්ත‍්‍රණයේ බලය පහළ යාන්ත‍්‍රණයේ වංචනිකයන්ගේ, දූෂිතයන්ගේ, සල්ලාලයන්ගේ තැනක් බවට පත්කරගෙන තිබෙනවා. ගම්බිම් පිටින් ජනතාව බියට පත්කරමින් තිබෙනවා. දැරියන්ව දූෂණයට පත්කරනවා. මේ අය කි‍්‍රයා කළේ වනසරාලා වගේ. ඔවුන් විරාජමානව වැජඹුණා.

මේ ප‍්‍රාදේශීය සභා හරහා හැදෙන යාන්ත‍්‍රණය ඉහළ බල අධිකාරය ශක්තිමත් කර තිබෙනවා. ඒනිසා මේ පළාත් සභා මැතිවරණයේදී ඉහළ පාලන පාදඩ යාන්ත‍්‍රණය ගම් මට්ටමින් බිඳවට්ටා දුර්වල කොට, ජනතා විමුක්ති පෙරමුණේ යාන්ත‍්‍රණය ජයග‍්‍රහණය කොට, ශක්තිමත් මට්ටමින් ඔසවා තැබිය යුතුයි. ඉහළ පාදඩයන්ගේ ආරක්ෂාව, රැකවරණය සහ බලය ශක්තිමත් කළ පහළම තැනින් එය බිඳ දැමීම ආරම්භ කළ යුතුයි.

බොරු දේශප්‍රේමය

මහින්ද රාජපක්ෂ කියන්නේ රට බෙදීම වළක්වන්න තමන්ට ඡන්දය දෙන්න කියලයි. මේක රටේ ඉරණම තීරණය කරන ඡන්දය කියලා ඔවුන් දිගින් දිගටම කියනවා. රට බෙදන එක වළක්වන්න ජී. එල්.ගේ පක්ෂයට ඡන්දය දෙන්න කියන එකයි, ඔවුන්ට ඉතිරිවී තිබෙන්නේ. බොරු දේශපේ‍්‍රමිත්වය මේ ඡන්දයේදී ද, පාවිච්චි කරනවා. මාතෘ භූමිය පිළිබඳවත්, රටේ ජනතාව පිළිබඳවත් ඔවුන්ට තියෙන්නේ ව්‍යාජ රඟපෑමක් විතරයි. ජනතා විමුක්ති පෙරමුණේ ඉන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජන කොට්ඨාසයන් තුනේම සම අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ජාතිකත්ව වශයෙන් නොබෙදී සිටිය යුතු රට බෙදීමට විරුද්ධ ස්ථාවරයකයි. ඊටත් වඩා වැඩි බරකින් අපේ රටේ ජාතිවාදයටත් විරුද්ධයි. ජාතික අසමානතාවයටත් ඒ වගේම විරුද්ධයි. ජාතික සමගිය වෙනුවෙන් හැම ජන කොට්ඨාසයකම සම අයිතිය වෙනුවෙන් එකමුතු වී සටන් කරන, මේ රටේ එකම දේශපාලන ව්‍යාපාරය ජනතා විමුක්ති පෙරමුණ පමණයි. අනික් පැත්තෙන් මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයාගේ කණ්ඩායම ඉන්නවා. මේ කඳවුරු තුනක් නොවන බව දැන් හොඳටම පැහැදිලියි. මෙච්චර කාලයක් ඒ බව හංගලා තිබුණා. හැබැයි මේ ගෙවීගිය දින කීපය ඇතුළේ මේ සියලූ දෙනාම එක කඳවුරක බව වෙන කවරදාටත් වඩා හොඳින් ඔප්පුකර තිබෙනවා.