Language Switcher

V2025

ඉතිහාසයේ වැඩිම මුදලක් කෙටි කාලීනව රටේ සංවර්ධනයට යෙදවෙන්නේ ගම්පෙරළියයි - මංගල 

ඉතිහාසයේ වැඩි ම මුදලක් කෙටි කාලීනව රටේ සංවර්ධනය වෙනුවෙන් ලබා දෙනු ලබන්නේ ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන මගින් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර  ප්‍රකාශ කරයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙමගින් සංවර්ධනය ඍජුවම ගම කරා ගමන් කරන බවය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ගම්පෙරළිය වැඩසටහනේ මාතර මැතිවරණ කොට්ඨාසයේ සමාරම්භ වැඩසටහනට එක්වෙමිනි.

රුපියල් මිලියන 7ක වියදමින් මාතර, මඩිහ, මුදුන් ඇළ ප්‍රතිසංස්කරණ කටයුතු අද (19) පෙරවරුවේ අමාත්‍යවරයා අතින් ආරම්භ කෙරිණි.

පසුව පැවැති උත්සවය අමතමින් අදහස් දැක් වූ අමාත්‍යරයා -

“දිවයිනේ සෑම මැතිවරණ කොට්ඨාසයක ම එක හා සමාන සංවර්ධනයක් ගම්පෙරළිය කඩිනම් ග්‍රාමීය සංවර්ධන වැඩසටහන මගින් සිදු කෙරෙනවා. සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට ම රුපියල් මිලියන 200 බැගින් ලබා දීල තිබෙනවා. මේ වසරේ දී ඉදිරි මාස කිහිප සඳහා පමණක්. ඉදිරි අයවැයෙන් ඔබේ ගමේ සංවර්ධනය වෙනුවෙන් තවත් මුදල් වෙන් කෙරෙනවා. ඉතිහාසයේ වැඩි ම මුදලක්, කෙටි කලක් තුළ රටේ සංවර්ධනය වෙනුවෙන් යෙදෙන්නෙ මේ වැඩසටහන යටතේ යි.

මම මුල් ගල් තියන්න කැමති කෙනෙක් නෙවෙයි. මේ ඇළ සංවර්ධනයටත් මුල් ගල් කිහිපයක් ම තබා ඇති බව දැන ගන්නට ලැබුණ. එදා සංවර්ධනය කියලා ජනතාව මුලා කළේ එහෙම තමයි. කෝටි ගණන් මුදල් වියදම් කරලා හම්බන්තොට මහ දැවැන්ත පාරවල් හදල තියෙනව පැයකට වාහන දෙක තුනකට වැඩිය යන්නේ නෑ. ඒ පාලකයන් ගමේ වැව ගොඩවෙලා තියෙන එකට පිළියම් හෙව්වෙ නෑ. ඒක තමයි එදා සහ අද සංවර්ධනයේ වෙනස.

ධනවතුන් පොහොසත් කරන ආර්ථිකය වෙනුවට අද ගමට මුදල් ලැබෙන ක්‍රමවේදය ගම්පෙරළිය මගින් අරම්භ කරලා තියෙනවා.

අපි මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට රුපියල් මිලියන 200ක් කියල අපි ප්‍රකාශ කරල තිබුණත් කිසියම්  සංවර්ධන කටයුත්තකට මුදල් ප්‍රමාණවත් නැත්තම් අපි ඊට අවශ්‍ය මුදල් වෙන් කරල දෙන්න සූදානම් බවත් සඳහන් කරන්න කැමැතියි.

ගම්පෙරළිය යටතේ මේ වසර අවසන් වන විට පොල් අතු වහළ තියෙන නිවාස කිසිවක් නැති වෙනවා. විදුලිය නැති නිවාස කිසිවක් නැති වෙනවා. ජනතාවට සැබෑ සංවර්ධනය ළගා කර ගත හැකි සැබෑ ක්‍රමවේදය ගම්පෙරළිය බව සඳහන් කළ යුතුයි” යැයි ද අමාත්‍යරයා පැවැසීය.

අමාත්‍යවරයා ඉන් අනතුරුව මාතර දරුල් උලුම් මහා විද්‍යාලයේ ක්‍රීඩාපිටිය සංවර්ධනය කිරීමේ සහ  සනීපාරක්ෂක පහසුකම් වැඩි දියුණු කිරීමේ අවස්ථාවට ද කැකුණදුර කුඹල්ගම වැවේ පිටවාන ඇළ සංවර්ධනය කිරීමේ අවස්ථාවට ද එක් විය. මෙම අවස්ථාවන්ට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ඒ.ආර්.දේශප්‍රිය, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු ඇතුළු  ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ද එක්ව සිටියහ.

View the embedded image gallery online at:
http://newstube.lk/news/3413-2018-08-19-14-52-53#sigProIdcdc56eb9e5