Language Switcher

V2025

තේ අර්බුදයට හේතුවූ ඇස්බැස්ටෝස් තහනම ඉවතට !

ශ්‍රී ලංකාව තුළ ඇස්බැස්ටෝස් තහනම ක්‍රියාත්මක කිරීම කල් දැමීමට ආණ්ඩුව තීරණය කර ඇත.

ඒ, ඊයේ (19) පැවති කැබ්නට් මණ්ඩල රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමත් සමගය.

එහිදී අමාත්‍ය නවීන් දිසානායක මහතා විසින් රුසියාවෙන් ගෙන්වන ඇස්බැස්ටෝස්වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී අදහස් දක්වා ඇති බව වාර්තාවේ.

එම කරුණු පදනම් කරගෙන 2018 ජනවාරී මාසයේ සිට ක්‍රියාත්මක වීම ආරම්භ කිරීමට තිබූ ඇස්බැස්ටෝස් ආශිත නිෂ්පාදන ආනයනය හා භාවිතය සීමා කිරීම කල් දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.

2024 වසරේ සිට ඇස්බැස්ටෝස් ආශිත නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට 2016 වසරේ සැප්තැම්බර් මාසයේ දී ආණ්ඩුව තීරණය කළේය.

කෙසේ වෙතත් ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී වැඩිදුරටත් තීරණය වී ඇත්තේ රුසියාවෙන් ගෙන්වන ඇස්බැස්ටෝස්වල ගුණාත්මකභාවය පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් රුසියාව බලා පිටත්කර හැරීමටයි.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යංශයේ කණ්ඩායමක් එහිදී පිටත්කර හරිනු ඇත අතර ඔවුන් විසින් සෞඛ්‍ය අධ්‍යයන වාර්තාවක් ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ

 රුසියාවේදී තේ හා ඇස්බැස්ටෝස් විමර්ශනයක්

 ඒ අනුව ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන තේ ඇතුළු කෘෂි නිෂ්පාදනවලට රුසියාව විසින් පැන වූ තහනම පිළිබඳව සාකච්ඡා කිරීමටත්, රුසියානු ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු වල ප්‍රමිතිය සොයා බැලීම සඳහාත් ශ්‍රී ලංකා රජයේ විශේෂඥ නිලධාරීන් කණ්ඩායම් දෙකක් රුසියාව බලා පිටත්ව යාමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් 'නිව්ස් ටියුබ්' වෙත අදහස් දැක්වූ රුසියාවේ සිටින ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා පැවසුයේ, රුසියානු රජයේ විශේෂ ආරාධනයක් මත ඇස්බැස්ටෝස් විමර්ශනයට අදාල තාක්ෂණික නිලධාරීන් පිරිසක් දෙසැම්බර් මස 24 දා රුසියාවට පැමිණෙන බවයි.

මේ සම්බන්ධයෙන් තමා ඇතුළු රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ඊයේ (19) පස්වරුවේ දී රුසියානු කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා ඇතුළු එරට බලධාරීන් පිරිසක් සමග සාකච්ජා කල බවත්, එහිදී ශ්‍රී ලංකා නියෝජිතයින්ට පැමිණ රුසියානු ඇස්බැස්ටෝස් වල ප්‍රමිතිය නිරීක්ෂණය කිරීමට ආරාධනා කල බවත් වෛද්‍ය සමන් වීරසිංහ මහතා පැවසිය.

රුසියානු ඇස්බැස්ටෝස් සෞඛ්‍යට කිසිඳු ආකාරයකින් අයහපත් නොවන බව පවසන රුසියානු බලධාරීන්, ශ්‍රී ලංකා රජයේ විශේෂඥයින්ට ඒ ගැන නිවැරදි අවබෝධයක් ලබාදීම සඳහා ඒවා නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා වෙත රැගෙන යාමට ද කටයුතු යොදා ඇතැයි ද ඔහු පැවසිය.

 එකට එක කිරීමක් :

 ශ්‍රී ලංකා තේ ආනයනයට රුසියානු රජය පනවා ඇති තහනම 18දා සිට ක්‍රියාත්මක වන අතර ඊට බලපෑ ඇත්තේ, ශ්‍රී ලංකා රජය විසින් ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු ශ්‍රී ලංකාවේ තහනම් කිරීමට ගත් ප්‍රතිපත්තිමය තීරණය බව රාජපක්ෂ පාලන සමයේ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයාංග වීරතුංග මහතා විසින් නිකුත්කළ නිවේදනයක සඳහන් විය.

ඒ අනුව රුසියානු තේ තහනම එකට එක කිරීමක් බව ඔහු සිය නිවේදනය මගින් අවධාරණය කර තිබිණ.

ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රතිපත්තියකට අනුව ශ්‍රී ලංකා රජය ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු ශ්‍රී ලංකාවේ තහනම් කිරීමට තීරණයක් ගෙන ඇති අතර ඒ අනුව 2020 වසර වන විට ඇස්බැස්ටෝස් සෙවිලු තහඩු සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම රජයේ දැක්මයි.

ඒ සදහා රජය හා ජනපති ගොඩ නගා ඇති තර්කය ඇස්බැස්ටෝස් සෙවිලි තහඩු ස්වසන පිළිකා කාරකයකි යන්න වේ.

ඇස්බැස්ටෝස් ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවට ආනයනය කරන්නේ රුසියාවෙනි,

කිසිසේත්ම පිළිගත නොහැකි හේතුවක් මත ශ්‍රී ලංකාවේ ඇස්බැස්ටෝස් තහනම ගැන ශ්‍රී ලංකාවේ හිටපු රුසියානු තානාපති ඇලෙක්සැන්ඩර් කර්චාවෝ විසින් ශ්‍රී ලංකා රජයට කොළඹ දී සිය අප්‍රසාදය පල කොට තිබුණි.

 විසඳා ගන්න පුළුවන් ප්‍රශ්නයක් :

 කෙසේවුවද රුසියාවේ ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා අවධාරණය කර සිටින්නේ, ඇස්බැස්ටෝස් තහනම හා තේ තහනම අතර සම්බන්ධයක් නොමැති බවයි.

තේ තහනමට අදාළ අර්බුදය ඉතා කෙටි කලකදී විසඳා ගැනීමට හැකියාවක් ඇති බවට තමාට විශ්වාසයක් ඇති බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන තේ ඇතුළු කෘෂි නිෂ්පාදනවලට රුසියාව පැන වූ තහනම පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලාංකීය තාක්ෂණ නිලධාරී කණ්ඩායමක් අද (20) රුසියාව බලා ඒමට නියමිත බවද ඔහු පැවැසීය.

එම කණ්ඩායමට තේ මණ්ඩලය, තේ පර්යේෂණ ආයතනය සහ තේ අපනයනකරුවන්ගේ සංගමයේ නිලධාරීන් තිදෙනෙක් එක්වනු ඇතැයි ද ඔහු කීවේය.

එම සාකච්ඡා සඳහා දින නියම කැර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් ඒ අනුව බොහෝ දුරට ලබන සිකුරාදා රුසියානු නිලධාරීන් සමඟ එම සාකච්ඡා පැවැත්වීමට ඉඩකඩ ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

අනෙකුත් රටවල් සමඟ ගැටලුවකින් නැහැ :

මේ අතර තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජයන්ත කරුණාරත්න මහතා පවසා සිටියේ රුසියාවට මේ වන විට තේ අපනයනය තාවකාලිකව සිදු නොකළත් අනෙකුත් රටවල් සමඟ කිසිදු ගැටලුවකින් තොරව අඛණ්ඩ තේ අපනයනය සිදු කරන බවයි.

එසේ තේ බහාලුමක සිට හමුවූ කෘමියා මෙරට තුළින් අවුරුදු දහයක පමණ කාලයකින් හමු නොවී ඇති අතර මේ කෘමියා හමුවීම පිළිබඳව රුසියානු බලධාරීන්ද එය අහඹු සිදුවීමක් ලෙස සලකන බව තේ අපනයනකරුවන්ගේ සංගමයට දන්වා සිටි බවද කරුණාරත්න මහතා කීවේය.

රුසියානු තේ අර්බුදය ඉක්මනින්ම විසඳා ගැනීමට දෙපාර්ශ්වයටම දැඩි වුවමනාවක් තිබෙන බව ඒ මහතා පවසා සිටියේය.