හමුදා තොරතුරු උසාවියට දෙන්න එපා : ජනපතිගෙන් නියමයක්

හමුදා තොරතුරු උසාවියට දෙන්න එපා : ජනපතිගෙන් නියමයක්

මේ වන විට විවිධ අධිකරණ ඉදිරියේ විභාගවෙමින් පවතින ඝාතන අතුරුදන් කිරීම් සම්බන්ධ නඩුවලට අදාළව, එම අධිකරණවලට අවශ්‍ය වී තිබෙන ත්‍රිවිධ හමුදාවල අභ්‍යන්තර තොරතුරු ලබා නොදෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අණ කොට තිබෙන බව අනිද්දා වෙත වාර්තා වෙයි.
 
ජනාධිපතිවරයා මෙලෙස අවධාරණය කර තිබෙන්නේ, අගෝස්තු 28 වෙනිදා සවස් වරුවේ ඔහුගේ පැජට් පාරේ නිවසේ පැවති සාකච්ඡාවකදී බවද වැඩි දුරටත් වාර්තා වෙයි.
 
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්න, නීතිය හා සාමය අමාත්‍යංශයේ ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවී විජේගුණවර්ධන, ත්‍රිවිධ හමුදාපතිවරුන්, රාජ්‍ය බුද්ධි ඒකකයේ ප්‍රධානී, යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානී සමග පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානී, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රධානී සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානී ඇතුළු නිලධාරීන් පිරිසක්ද සහභාගි වී තිබේ.
 
ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කරවීම, කීත් නොයාර් පැහැගෙන යෑම, උපාලි තෙන්නකෝන්ට පහරදීම හා එකොළොස් දෙනෙකු පැහැරගෙන ගෙන ගොස් අතුරුදන් කරවීම වැනි පසුගිය පාලන කාලය තුළ හමුදා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් සිදුවී අතැයි කියන අපාරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිසියට, එම විමර්ශන ඉදිරියට ගෙන යෑමට හමුදාවේ යම් යම් අභ්‍යන්තර තොරතුරු අවශ්‍ය වී තිබිණ. මේ සම්බන්ධයෙන් ඒ ඒ අධිකරණවලට දැනුම් දුන් විට, එම තොරතුරු ලබාදෙන දෙස හමුදාපතිවරුන්ට අධිකරණ නියෝග දී තිබුණ ද විවිධ හේතු දක්වමින් මේ වන තෙක් ඒවා ලබා දී නැත. මේ තත්වය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ තොරතුරු ලාබා දෙන ලෙස ඉල්ලා මීට පෙර හමුදාපතිවරුන්ටද ලිපි යවා තිබේ.
 
මීට සති දෙකකට පෙර නැවතත් එම ඉල්ලීම පොලිසිය විසින් ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කපිල වෛද්‍යරත්නගෙන්ද කරන ලදී. අගෝස්තු 28 වැනිදා ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් කැඳවනු ලබන්නේ එම ඉල්ලීමට ප්‍රත්චාර ලෙසින්ය.
 
එහිදී, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා පවසා ඇත්තේ, පොලිසිය විසින් තමාගෙන් කරුණු 34 ක් යටතේ තොරතුරු ඉල්ලා ඇති බවත්, ඒ තොරතුරු ලබාදීම ජාතික ආරක්ෂාවට හානියක් විය හැකි බවත්ය, එහිදී පොලිස්පතිවරයා ඇමතූ ජනාධිපතිවරයා, හමුදා නිලධාරීන් අත්අඩංගුවේ සිටීම හා සැකකරුවන් ලෙස සිටීම ගැන සිය අප්‍රසාදය පොලිස්පතිවරයා වෙත පළකර ඇති අතර, අත්අඩංගුවට ගැණෙන ඒ සමහරු මාස ගණන් හිරකරගෙන තබාගෙන සිටින බවත්, ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කිසිදු සාක්ෂියක් නැතිව බවත්, සමහරුන්ගෙන් කටඋත්තරයක්වත් සටහන් කොටගෙන නැති බවත් ප්‍රකාශ කර තිබේ.
 
ඊට ප්‍රතිචාර දැක්වූ පොලිස්පති පූජිත් ගුණවර්ධන කියා ඇත්තේ, මේ තොරතුරු ඉල්ලා ඇත්තේ අධිකරණවල නියෝග මත බවත්, අත්අඩංගුවට ගත් සෑම පුද්ගලයන්ගෙන්ම කටඋත්තර සටහන් කරගෙන ඇති බවත්, සමහරුන්ගෙන් කීපවරක් කටඋත්තර සටහන් කරගෙන ඇති බවත්ය. එසේම කිසිවකු නිකරුණේ අත්අඩංගුවට ගෙන නැති බවත්, අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ඔවුන් අපරාධවලට සම්බන්ධ බවට සෑහිමකට පත්විය හැකි තොරතුරු ලැබී ඇති නිසා බවත් පොලිස්පතිවරයා ප්‍රකාශ කොට තිබේ.
 
කෙසේ වෙතත් අවසානයේ ජනාධිපතිවරයා හමුදාවල නායකයන්ට නියම කර අත්තේ කිසිම තොරතුරක් ලෙබානොදෙන ලෙසය.
 
මේ අවස්ථාවේ විශේෂත්වය වන්නේ, මේ වන විට එවැනි අපරාධ සම්බන්ධයෙන් යම් යම් චෝදනා ලබා සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද හමුදා බුද්ධි අංශයේ ප්‍රධානියාද ඉදිරියේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කිරීමයි.
 
(අනිද්දා)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න