නවක වදය වැළැක්වීමට අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය මැදිහත් වෙයි !

නවක වදය වැළැක්වීමට අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය මැදිහත් වෙයි !

නවක වදය වැළැක්වීමට අපේ ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරය මැදිහත් වන බව එම සංවිධානය පවසයි.

පසුගිය දා කොළඹ දී පැවතී මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් එම සංවිධානයේ ලේකම් රුසිරු එගොඩගේ ප්‍රකාශ කර සිටියේ නවක වදය විසඳන තැනකට අවශ්‍ය කරන කතිකාවත ගොඩනඟන්න තම සංවිධානය සූදානම් බවත්, සමාජ විකෘතියක් වන නවක වදය නවතා දැමීමට ශිෂ්‍ය සංවිධාන සහ රජය සුදානම් බව දැනටමත් ප්‍රකාශ කර ඇති බැවින් එම පාර්ශව දෙක මෙම අර්බුධය විසඳීම සඳහා සක්‍රීයව දායක කර ගැනීමට බලපොරොත්තු වන බවයි.

එහිදී වැඩිඩුරටත් අදහස් දැක්වූ රුසිරු එගොඩගේ, "විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ නවක වධය නමින් හඳුන්වන කෲර වධහිංසාවක් ප්‍රචණ්ඩත්වයක් තවමත් ක්‍රියාත්මක වෙනවා. විශ්වවිද්‍යාලයක් ඇතුලට යන්නේ විශ්වීය අධ්‍යාපනයක් ලබන්න. හැබැයි එහෙම තැනකට ගිහිල්ල, ඇතැම් අයගේ මානසික අසහනයන් දුරු කරලන්න තමන්ට සිදුවෙනවා නම් ඒක ඛේදවාචකයක්. ලිංගික චිත්‍රපට බලන්න කියලා, ඒ පිලිබඳ දැනෙන හැඟීම ලිපියකින් ලියන් එන්න කියනවා නම්, ගැහැණු ලමුන්ට තනපට අඳින එක එයාල කියනකම් තහනම් කරනවා නම්, ඒක එයාලා පරීක්ෂා කරනවා නම්, හොස්ටල්වල ඉන්න ගැහැණු ලමුන්ව අඩ නිරුවත් කරලා නටවනවා නම්, ඒකට කියන්නේ නවක වධය නෙවෙයි, ඒකට කියන්නේ මානසික අසහනය. එහෙමත් නැත්නම් ලිංගික අසහනය. මානසික අසහනයක් , ලිංගික අසහනයක් කාලන්තරයක් යනකොට රැග් එක කියලා ඔය කියන උපසංස්කෘතියකට වැටෙනවා ඒක ප්‍රශ්ණයක්.

බීබීසී සිංහල වෙබ් අඩවියට අනුව, මෙතෙක් නවක වදය නිසා සිසුන් 14 දෙනෙක් මරණයට පත්වී ඇති බවත් පසුගිය අධ්‍යයන වර්ෂ දෙකකදී 2000 කට ආසන්න සිසුන් පිරිසක් විශ්වවිද්‍යාල ඇතහැර ගොස් ඇතිබවත් සඳහන් කරනවා. එය එසේ නම්, ඒ පිලිබඳ වහාම සොයා බැලියයුතු බව අප සඳහන් කරනවා. අන්තර් විශ්වාද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මේ කාරණාව ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසන්නේ එසේ සිසුන් හැර යන්නේ නවක වදයක් නිසාම නෙවෙයි පරිපාලන ගැටළු, ආර්ථික ගැටළු වගේ වෙනත් කාරණාත් ඊට හේතු වෙනවා කියලා. අපි කියන්නේ නෑ පරිපාලන ගැටළු නෑ කියලා. එහෙම ප්‍රශ්ණත් තියෙනවා. ඒක නිසා බලන්න ඕනේ මොන හේතුව හින්දද මේ විදිහට සිසුන් හැර යන්නේ කියලා. මොකද කොහොම වුනත් අවසානයේ සිසුන් විශ්වවිද්‍යාලය අත හැර යාම ඛේදවාචකයක්.

දැන් අමුතුවෙන් තර්ක කරන්න අවශ්‍ය නෑ නවක වදයක් තියෙනවද නැද්ද කියලා. මොකද උසස් අද්‍යාපන ඇමතිතුමා විතරක් නෙවෙයි, විශ්වවිද්‍යාල සිසුන්ගේ අයිතිවාසිකම්  වෙනුවෙන් පෙනීසිටින ප්‍රධානතම සංවිධානයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පවා  පිලිඅරන් තියෙනවා විශ්වවිද්‍යාල පද්ධතිය ඇතුලේ එවැනි සංස්කෘතීමය පසුගාමී තත්වයක් තියෙනවා, ප්‍රචණ්ඩත්වය සම්බන්ධ හිංසනකාරී දේවල් සිදුවෙනවා කියලා. ඒක එයාලා පිලිගන්න ගමන්, ඒක පරාජය කරන්න එයාලා සූදානම් කියලත් කියනවා."

එසේම මෙම මාධ්‍ය හමුවට එක්වූ නීති ශිෂ්‍ය, ප්‍රමිත් ගනේආරච්චි ප්‍රකාශ කර සිටියේ රටේ අනාගතය භාරගන්න පුළුවන් තරුණ පරම්පරාවක් බිහිකරන අවශ්‍ය තෝතැන්නක් බවට මෙරට විශ්ව විද්‍යල පද්ධතිය පත් කල යුතු බවයි. එහිදී වැඩිඩුරටත් අදහස් දැක්වූ ප්‍රමිත් ගනේආරච්චි,
"නවක වධය ගැන කතා කරද්දි මේ රටේ මෑතක් වෙනකන් කණ්ඩායම් දෙකක් තිබුණා. එක කොටසක් තමයි නවක වධය ගැන විශ්වවිද්‍යාලවල කණ්ඩායම්වලට චෝදනා කරපු පිරිස..අනිත් පිරිස තමයි එහෙම නවකවධයක් සිද්ධ වෙන්නෙ නෑ කියලා ඒ චොදනාව ප්‍රතික්ෂේප කරපු පිරිස..

ඒත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙ වත්මන් කැදවුම්කරු වන ළහිරු වීරසෙකර පහුගිය දවසක පිළිගන්නවා කැම්පස් ඇතුළෙ යම් යම් මට්ටම් වලින් නවක වධය ක්‍රියාත්මක වෙනවා සහ කැම්පස් ශිෂ්‍ය ප්‍රජාව අතරෙ යම් පසුගාමීත්වයක් තියෙනවා කියලා.ඒ වගේම මේ නවක වධය නතර ක‍රන්න ඕන කියලා..
නවක වධයට සම්බන්ධ සියළු පාර්ශවයන් නවක වධය නතර කළ යුතුය කියලා කියන නිසා  මේ මොහොත මේ නවක වධ ප්‍රශ්නය විසදන්න හොද වෙලාවක්..
කැම්පස් එන ශිෂ්‍යයො කියලා කියන්නෙ කරුණු දෙකක් සපුරපු ළමයි. පළවෙනි එක ඔවුන් හොදින් විභාගය සමත් වුණ අය..දෙවෙනි සහ වැදගත්ම කරුණ තමයි ඔවුන් රජයේ විශ්ව විද්‍යාලයකට ඇතුළත් වෙන්න කැමැත්තෙන් හිටිය අය...කැම්පස් එන්න හීනයක් තිබ්බ අය.. ගොඩක් වෙලාවට රජයේ විශ්ව විද්‍යාල වලට එන්නෙ ඈත ගම්වල අහිංසක අම්මලා තාත්තලගෙ දරුවො...මේ දරුවො කැම්පස් එන්නෙ ලොකු හීන ගොඩක් ඔලුවෙ තියාගෙන...මෙහෙම ලොකු හීන ගොඩක් ඔලුවෙ තියාගෙන එන ශිෂ්‍ය ශිෂ්‍යාවො කැම්පස් ඇතුළට ආවට පස්සෙ ආපහු කැම්පස් එක අත් හැරලා යනවනම් ඒක ඛේදවාචකයක්...
මෙතන කැම්පස් හැරයාමටත් වඩා භයානක චෝදනාවක් තියෙනවා..ඒ තමයි නවක වධය නිසා සිසුන් කිහිපදෙනෙක් ජීවිතය අහිමි කරගත්තා කියන චෝදනාව...මේක ඉතාම බරපතල චෝදනාවක්...කැම්පස් අතෑරලා ගියපු කෙනෙක්ට එළියෙන් නැවත ජීවිතය පටන් ගන්න අවස්ථාවක් තිබ්බ වුණාට ජීවිතයෙන් සමුගත්ත තරුණයෙකුගෙ තරුණියකගෙ  ජීවිතය අපිට ආපහු ගේන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තමන්ගෙ හෘද සාක්ෂියට තට්ටු කරලා අහන්න කියලා නවක වධයට පක්ෂ අයට මං කියනවා...

අපි මේ කරන විවේචනය ධනාත්මක විවේචනයක් විදියට ගන්න..අපිට කැම්පස් ශිෂ්‍යයො එක්ක ආරවුලක් නැහැ..

අද වනකොට කැම්පස් සිසුන්ට සමාජයේ තිබ්බ තැන නැති වෙලා ගිහිල්ලා...අද කවුරුත් ඔවුන් කියන දේවල් ගණන් ගන්නෙ නැති තැනට පත් වෙලා...මේක මෙහෙම විය යුතු නැහැ...

මං දන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයො අති බහුතරයක් නවක වධයට විරුද්ධයි...ඒත් ප්‍රශ්නය ඔවුන් නිහඩයි...වැරැද්ද කරනවට වඩා භයානකයි වැරැද්ද දැක දැක නිහඩව ඉන්න එක..ඒ නිසා අපි ඔබට කියනවා ඔබේ නිහඩබව දැන්වත් බිදින්න.. අපි සුදානම් මේ නවකවධ ගැටළුව මෙතනින් ඉවරයක් කරන්න ඉවුරු දෙක අතරෙ පාලමක් වෙන්න..ඒ අවශ්‍ය කරන කතිකාව සමාජ කතිකාවත ගොඩ නගන්න..."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න