ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා පළමු ප්‍රදර්ශනය අති සාර්ථකව අවසන් වෙයි !

ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා පළමු ප්‍රදර්ශනය අති සාර්ථකව අවසන් වෙයි !

ඉදිරි වසර තුළ ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන් ලක්ෂයක් අලුතින් බිහි කිරීමේ අරමුණින් යුතුව මොණරාගලදී ආරම්භ කරන ලද ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා පළමු ප්‍රදර්ශනය ඊයේ (31)  දිනයේ අති  සාර්ථකව අවසන් වූ බව වාර්තා වෙයි.
 
ජනතාව තුළ විශේෂයෙන් තරුණ ප්‍රජාව තුළ සැඟවී තිබෙන්නාවූ ව්‍යවසායකත්ව හැකියාවන් වෙත පොළඹවා ඔවුන් සාර්ථක නිෂ්පාදකවරුන්, ව්‍යාපාරිකයන් සහ අපනයන කරුවන් බවට පත් කිරීම සඳහා ඔවුන් හට ව්‍යවසායකත්වය පිළිබඳ දැනුම, අවබෝධය, උපදේශනය සහ පුහුණුව ලබාදීම අරමුණු කරගනිමින් දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීම සඳහා ආරම්භ කරන ලද ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා  ප්‍රදර්ශනය මොණරාගල දිස්ත්‍රික්කයේ දින තුනක් (අගෝස්තු 29,30,31) පුරා පැවැත්විණ.
 
මෙම ප්‍රදර්ශනය මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලැබූ අතර  එහි දිවන දිනය වූ 30 වනදා වන විට  දෙලක්ෂ පනස් දහසකට අධික පිරිසක් ප්‍රදර්ශනය නැරඹීම සඳහා පැමිණ සිටි අතර  එය  පාසැල් ළමුන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දී තිබිණ.

ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා ප්‍රදර්ශනය මෙතෙක් ශ්‍රී ලංකාවේ පවත්වන්න ලද අනෙකුත් සංදර්ශන හා ප්‍රදර්ශන වලට වඩා බෙහෙවින් වෙනස් විය.  ඒ භාණ්ඩ මිලදී ගැනීම හා විනෝදාස්වාදයට අමතරව ව්‍යවසායකයෙකු වීමට අපේක්ෂා කරන පුද්ගලයන් හට අවශ්‍ය දැනුම අවබෝධය සහ පුහුණුව මෙම ප්‍රදර්ශන භූමිය තුළ රාජ්‍ය හා පෞද්ගලික අංශය  විසින් ලබාදීම නිසාය.
 
කෘෂිකර්මාන්තයට අදාල දිස්ත්‍රික්කයක් වන මොණරාගල දිස්ත්‍රික්කය කෘෂි භාණ්ඩ සහ  නිෂ්පාදන භාණ්ඩ වාණිජකරණය කිරීම දක්වා ඉහළට ගෙන ගොස් ඒ හරහා අපනයන වෙළෙඳ පොළට ළඟා කිරීමට හැකිවන පරිදි මෙහි දී ගොවීන් හට අවශ්‍ය උපදෙස්  ලබා දීම සිදු කරනු ලැබිණ.
 
 දෙවන දිනයේදී (30) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ස්වයං රැකියාලාභීන් 12 දෙනෙකුට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ජංගම වෙළෙඳ කුටි බෙදාහරින ලදී. මෙම ජංගම වෙළෙඳ කුටිවල ප්‍රයෝජනය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර වැනි අනෙකුත් අවශ්‍ය දෑ මිලදී ගැනීම සඳහා මෙම ස්වයං රැකියාලාභීන්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ වූ ස්වයං රැකියා ණය ලබාගැනීමටද අවස්ථාව ලබාදී තිබේ. කුඩා ස්වයං රැකියාලාභීන් සඳහා රු. 50,000 දක්වා ණයමුදලක් පොලී රහිතව රාජ්‍ය බැංකු හරහා ලබාදීමද සිදු කෙරේ.

තවද ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන යටතේ හඳුන්වා දී ඇති ණය යෝජනා ක්‍රම 16 මගින් තමන්ට අවශ්‍ය ණය යෝජනා ක්‍රමය තෝරා ගෙන එම ණය ලබාගැනීම සඳහා බැංකු වෙත අයදුම්පත් ඉදිරිපත් කිරීමට අදාළ උපදේශන හා මාර්ගෝපදේශන රාජ්‍ය බැංකුවලින් මෙහි පැමිණෙන ප්‍රජාවට ලබා දීම සිදු කෙරේ. මේ යටතේ ණය යෝජනා ක්‍රම කිහිපයක් හඳුන්වාදෙන ලදී.ඒ හරහා ණය ලබා ගත් පිරිසකට 30 වනදා  ලංකා බැංකුව වෙතින් පුද්ගලයන් නව දෙනෙකුට ණය ලබාදීම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අතින් ප්‍රදර්ශන භූමියේදී සිදු කරන ලදී.

ප්‍රදර්ශනයේ  සමාප්ති උළෙල නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස සහ  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවිර යන මහත්වරුන්ගේ ප්‍රධානනත්වයෙන් ඊයේ ( 31) සනිටුහන් කළ අතර ව්‍යවසායකින් ලක්ෂයක් වසර තුළ බිහිකිරිම අරමුණු කරගනිමින් ආරම්භ කළ ප්‍රදර්ශනය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ‍ගෙන යාමට යෝජනා කර ඇති අතර දෙවන ප්‍රදර්ශනය මෙම වසර අගභාගයේදි අනුරාධපුර දිස්ත්‍රික්කයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.
 
ව්‍යවසායකයින් ලක්ෂයක් වසරක් තුළ බිහි කිරීම අරඹයා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ගෙන යාමටද නියමිතව ඇත.

{gallery}entre-3{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න