විරුද්ධ දේශපාලන මතයක් දැරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගැන ගෝඨා ප්‍රශ්න කරයි !

 විරුද්ධ දේශපාලන මතයක් දැරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ගැන ගෝඨා ප්‍රශ්න කරයි !

'ජනබලය කොළඹට' නම් වූ ආණ්ඩු විරෝධී රැලියට සහභාගි වන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (31) මාධ්‍ය නිවේදනයක් නිකුත්කර ඇත.

එම නිවේදනයේ පහත සඳහන් මුලික කරුණු කිහිපයක් අන්තර්ගතය.

විරුද්ධ දේශපාලන මතයක් දැරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය !

විරුද්ධ දේශපාලන මතයක් දැරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රාජ්‍ය යාන්ත්‍රණය භාවිත කරමින් අසාධාරණ සහ අත්තනෝමතික ලෙස දරුණු දේශපාලන මර්දනයකට යටත් කර තිබෙන බව හා ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම සියල්ලම බිඳ දැමීමට රජය කටයුතු කරමින් ඇති බව, 

ජාතික මර්මස්ථාන විදේශිකයන්ට විකුණමින් !

ජාත්‍යන්තර ගිවිසුම්, ඔස්සේ නැවත රට විනාශය කරා ගෙනයන රජය,  ජාතික මර්මස්ථාන විදේශිකයන්ට විකුණමින් සිටින බව ද ගෝඨාභය රාජපක්ෂ  පවසයි.

සාමය හා සංහිඳියාව විනාශ කරමින් !

වත්මන් රජය පෞද්ගලික හා දේශපාලනික ප්‍රයෝජන පිණිස සාමය හා සංහිඳියාව විනාශ කරමින් ඇතැයිද ඔහු චෝදනා කරයි. 

අදාළ නිවේදනය විමසීමේදී පෙනී යන්නේ රාජපක්ෂ පාලන සමය තුළ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස කටයුතු කර සිටියේ ගෝඨාභය රාජපක්ෂ නොවන බවක්ය. නැතිනම් ඔහු මැරී ඉපදී ඇති බවක්ය. ඒ රාජපක්ෂ රෙජීම රෙජීම පාලන සමයේ ගෝඨාභය රාජපක්ෂ ඇතුළුව රෙජීමට අදාළව එල්ලවූ  චෝදනා සංස්කරණයකින් තොරව වත්මන් යහපාලන ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබෙන නිසාය.

රාජපක්ෂ පාලන සමයේ විරුද්ධ දේශපාලන මතයක් දැරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය

විරුද්ධ දේශපාලන මතයක් දැරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රාජපක්ෂ පාලන සමයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කල ආකාරය ගැන උතුරෙන් නොව දකුණේ උදාහරණ ඊට සාක්ෂි දරයි.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී  ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීම, මාධ්‍යවේදී පොද්දල ජයන්ත වෙත සිදුකළ මරණීය ප්‍රහාරය , මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන්ට එල්ල කළ මරණීය ප්‍රහාරය, මාධ්‍යවේදී  කීත් නොයාර් පැහැරගැනීම ඊට අදාළ නිදර්ශන කිහිපයක් පමණි. එසේම සිරස සහ සියත මාධ්‍ය ආයතන වෙත එල්ල කළ මිලේච්ච ප්‍රහාර, ලංකා පුවත්පතට සීල් තැබීම පමණක් නොව 2010 ජනාධිපතිවරණය සඳහා විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ සරත් ෆොන්සේකාව හමුදාව යොදවා පැහැරගත් ආකාරයද ඊට සාක්ෂි දරයි.

එපමණක් නොව  පිරිසිදු පානිය ජලය ඉල්ලා උද්ඝෝෂණය කල රතුපස්වල ජනතාවට වෙඩි තැබීම හා තිදෙනෙකු ඝාතනය කිරිම, ජීවත්වීමේ අයිතිය ඉල්ලා උද්ඝෝෂණය කල ධිවර ජනතාවට හා වෙළඳ කළාපයේ සේවකයින්ට වෙඩි තැබීම ආදී පසුගිය පාලන සමයේ මිලේච්ජ මැර ක්‍රියා යලි යලි සිහිපත් කරන්නේ දේශපාලනව විරුද්ධ මතයක් දැරීම තබා විරෝධයක් දැක්වීමේ අයිතිය ක්‍රියාවේ යෙදවීම පවා රාජපක්ෂ රෙජීමය වෙතින් විශේෂයෙන් එහි සිටි අදිසි මරණ වරෙන්තුකරුවා වූ ගෝඨාභය රාජපක්ෂ වෙතින් මරණ වරෙන්තුව ලැබීමට හේතුවූ බවය.

එහෙත් අද වත්මන් පාලනය යටතේ එවැනි මර්දනයක් දියත්ව නැත. කිසිඳු මාධ්‍යවේදියකු හෝ විරුද්ධ පක්ස දේශපාලන ක්‍රියාකාරිකයෙක් ඝාතනය වන්නේ හෝ අතුරුදහන් වන්නේ නැත. 

සාමය හා සංහිඳියාව විනාශ කලේ කව්ද ?

විවිධ  අන්තවාදී සංවිධාන ගොඩනගමින් ජාතිවාදය උසුගන්ව පාලන බලය පවත්වා ගෙන යාමට ගෝඨාභය රාජපක්ෂ කටයුතු කල ආකාරයද ඔහුට මේ වසර තුන තුළ අමතක කරන්නට අවශ්‍ය නමුත් මේ රටේ ජනතාවට එය අමතක කිරීමට අවශ්‍ය නැත.

සිවිල් යුද්ධ නිමාවෙන් පසුව රටේ ජාතික සමඟිය සහ සංහිඳියාව තහවුරු කිරීම වෙනුවෙන් ජාතික මට්ටමේ වැඩපිළිවෙලක් ක්‍රියාවට නැගිය යුතු වුවත්, රාජපක්ෂ රෙජීමය කටයුතු කර සිටියේ ජාතිවාදය සහ ආගමික අන්තවාද නඩත්තු කරමින් සංහිඳියාවට හානි පැමිණවීමය.

ඒ හරහා රාජපක්ෂ රෙජීමය නැතිවුවහොත් නැවත රටේ යුද්ධයක් ඇතිවීමේ අවධානමක් ඇති බව පෙන්වා ඒකාධිපති පවුල් පාලනය අඛණ්ඩව පවත්වාගෙන යාමට උත්සාහ දැරීමය. ගෝඨාභය ඇතුළු අන්තවාදී කල්ලි මෙහෙයවූ  අලුත්ගම ආගමක - ජාතිවාදී කෝළාහලය කියන්නේ ඊට ඇති එක් නිදර්ශනයක් පමණය.
එහෙත් වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ ආණ්ඩුව මැදිහත්ව කිසිඳු අන්තවාදී සංවිධානයක් ගොඩනගා නැත. අදටත් ජාතික සංහිඳියාව ඇති කිරීමේ දුෂ්කර ව්‍යායාමයට හානි කරමින් සිටින්නේ රාජපක්ෂලා සිය දේශපාලන බල ව්‍යාපෘතිය වෙනුවෙන් ගොඩනගා පවත්වාගෙන යන ජාතිවාදී සහ ආගම්වාදී කල්ලි කණ්ඩායම් විසින්ය.

ජාතික මර්මස්ථාන විදේශිකයන්ට විකුණුවේ කව්ද කියන කාරණය 

කොළඹ ගාලු මුවදොර ඉදිරිපිට පැවති යුධ හමුදා මුලස්ථාන ඉඩම පමණක් නොව ඊට යාබද බාලදක්ෂ මාවත ද චීනයේ 'Shangri-La' සමාගමට සින්නක්කවර විකුණුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අමත්‍යයංශයේ ලේකම්ව සිටිය දී බවද සිහිපත් කල යුතුව තිබේ.

හමුදාවේ මුලස්ථානය විදේශිකයින්ට සින්නක්කරයට විකුණු අයකුගේ දේශප්‍රේමය කුමක්දැයි අලුතින් විමසීමට අවශ්‍ය නොවන අතර ඒ බව තේරුම් ගන්න මේ නිදර්ශනය හොඳටම ප්‍රමාණවත්ය.

එපමණක් නොව මෙරට ආර්ථිකය සංවර්ධනය කරන බව පවසමින් ජාතික ආරක්ෂාව පවා තර්ජනයට ලක්වන ආකාරයට මහා පරිමාණ පොළී අනුපාත යටතේ  ඌන සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කර ඒවායින් කොමිස් මුදල් ලබාගත්තේද රාජපක්ෂ රෙජීමය විසින්ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ   සිය ධුරය ගැන පවා නොතකමින්  චීන සමාගම් වෙතින් කොමිස් මුදල් ලබාගත් ආකාරය මේ වන විට නිව්යෝර්ක් ටයිම්ස් වැනි ජාත්‍යන්තර මාධ්‍ය පවා අනාවරණය කර ඇත. එසේම රාජපක්ෂ පවුලේ උදවිය, නිදර්ශනයක් ලෙස පුෂ්පා රාජපක්ෂ (බැසිල් රාජපක්ෂගේ බිරිඳ) පවා චීන සමාගම් වෙතින් සන්තෝසම් ලබාගත් ආකාරය මේ වන විට සාක්ෂි සහිතව අනාවරණය වී ඇත.

බිලියන ගණන් කොමිස් මුදල් ලබාමින්, ඉඩම් කොටුකර රට පුරා මාලිගා හදමින්, ඒකාධිපති පවුල් පාලනය ජාතික සම්පත් පමණක් නොව දීර්ඝ කාළීනව මෙරට ආර්ථිකයට සිදුකළ හානියද සුළුපටු නැත. ඇමරිකානු ඩෝල් සමාගමට පවා මෙරට නොයිඳුල් කෘෂි ඉඩම් සින්නක්කරව විකුණු රාජපක්ෂ කෙරුවාවෙන් බිඳක්වත් මේ ආණ්ඩුව සිදුකර නොමැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න