Language Switcher

V2025

වියට්නාම් - ශ්‍රී ලංකා සම්බන්ධතා ශක්තිමත් කරගමු - වියට්නාම් අග්‍රාමාත්‍ය 

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍ය සබඳතා පමණක් නොව, පාර්ලිමේන්තු, දේශපාලන පක්‍ෂ හා ජනතාව අතර සබඳතාත් ශක්තිමත් කරලීම සඳහා පියවර ගත යුතු බව වියට්නාම් අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් (H.E. Nguyen Xuan Phuc)පැවසීය.

වියට්නාම් අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆුක් (H.E. Nguyen Xuan Phuc) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර වියට්නාම අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ඊයේ  (11 වන දා) පැවති ද්විපාර්ශවික සාකච්ඡාවේ දී දෙරට අතර ආර්ථික වශයෙන් පමණක් නොව දේශපාලන, ආගමික, සමාජයීය හා ව්‍යාපාරික අංශයන් අතර ද හුවමාරු වැඩසටහන් ආරම්භ කරලීමේ වැදගත්කම ද අවධාරණය කෙරුණි.

ලබන වසරේ එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උත්සවය වියට්නාමයේ හැනොයි නගරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන හෙයින් ඒ සඳහා ශ්‍රී ලංකාවේ සහය ලබා දෙන ලෙස ද ඉල්ලීමක් කෙරිණි.

දෙරට අතර බෞද්ධ නියෝජිත පිරිස් හුවමාරු කර ගැනීමේ වැදගත්කම අවධාරණය කළ වික්‍රමසිංහ මහතා, ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර පැවති ඓතිහාසික සබඳතා පිළිබඳ සොයා බැලීම සඳහා ප්‍රාමාණික විද්වතුන්ගෙන් යුතු ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමේ යෝග්‍යතාව සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය. ඉතා ඉක්මණින්ම මේ කමිටුව පිහිටුවිය යුතු බව වියට්නාම් අග්‍රාමාත්‍යරයාගේ ද අදහස විය.

වියට්නාම් ජාතිකයන් විශාල පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අපේක්‍ෂාවෙන් පසුවන බැවින්, දෙරට අතර ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ෂුන් ෆුක් මහතා කරුණු පැහැදිලි කළ අතර, ඒ සඳහා අවශ්‍ය සියළු පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව සූදානම් බව වික්‍රමසිංහ මහතා පැවසීය. සංචාරක කර්මාන්තයේ උන්නතිය සඳහා දෙරට අතර වීසා රෙගුලාසි තව දුරටත් ලිහිල් කිරීම සම්බන්ධයෙන් ද සාකච්ඡා ළඟදීම ආරම්භ කෙරෙනු ඇත.

ලබන නොවැම්බරයේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික නියෝජිත පිරිසකගේ වියට්නාම් සංචාරයක් සංවිධානය කිරීමට ද, ඉන් පසු ව්‍යාපාරික ක්ෂේත්‍ර‍යේ නිරන්තර හුවමාරු වැඩසටහන් සංවිධානය කිරීමට ද මෙහිදී තීරණය කෙරිණි.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර ධීවර කර්මාන්තය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් සකස් කිරීමට එකඟ වූ දෙරටේ අග්‍රාමාත්‍යවරු, ආර්ථික සම්බන්ධීකරණ කාර්යයන් වෙනුවෙන් ස්ථාපිත කර ඇති ඒකාබද්ධ කමිටුවේ කාර්යයන් කඩිනම් කිරීමේ හා පුළුල් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරිණි.

කලාපීය සමාජයීය, ආර්ථික හා දේශපාලන ප්‍රවණතාවන් සම්බන්ධයෙන් ද මේ සාකච්ඡාවේ දී අදහස් හුවමාරු කර ගැනිණි.

ඉන්දීය සාගරයේ නිදහස් නාවුක ගමනාගමනය හා සාමය ආරක්‍ෂා කරලීම වෙනුවෙන් කැපවී කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරු සහතික කළහ.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපතිනි හසින්ති දිසානායක, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මේ අවස්ථාවට සහභාගි වූහ.