Language Switcher

V2025

දුම්කොළ භාවිතය අවම කොට කංසා නීතිගත කිරීම අගයයි !

දුම්වැටි භාවිතය පහළ යෑම නිසා රජයට විශාල ආදායමක් අහිමිව ඇති අවස්ථාවක යහපත් අරමුණු වෙනුවෙන් කංසා වගාව නීතිගත කිරීම පිළිබඳ රජයේ අවධානය යොමුවීම අගය කළ යුතු බව සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කංසා ශාකය ඖෂධයක් ලෙසත් ආර්ථික අපනයන බෝගයක් ලෙසත් වගා කිරීමෙන් රජයට සුවිශාල ආදායමක් උපයාගත හැකි බව නොරහසක් වන බවත්  නමුත් ඒ සඳහා පවතින  කංසා නීතියේ පුලුල් වෙනසක් සිදුවිය යුතු අතර කංසා භාවිතය නිසි පරිදි නියාමනය කළ යුතුව ඇති බවද එහි දැක්වේ.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නිකුත්කර ඇති එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.කංසා අපරාධ නීතියෙන් වෙන්කොට තබන අතරතුර කංසා වගාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුව ඇති පැතිකඩ ගණනාවකි. බීජ අභිජනනය එහි එක් පියවරකි. ලංකාවේ හේන් ගොවියන් දැනට වගා කෙරෙන කංසා බීජ බහුතරයක් දකුණු ඉන්දියානු බීජ වන අතර එමගින් නිපදවන කංසා යොදාගත හැක්කේ කඩදාසි නිෂ්පාදනය වැනි කර්මාන්තමය කටයුතු සදහා ය.

ඖෂධ නිෂ්පාදනයට ඊට වඩා උසස් තත්වයේ කංසා අවශ්‍ය වන නිසා කංසා බීජ අභිජනන මධ්‍යස්ථානයක් පිහිටුවීමට රජයට සිදුවනු ඇත.

ලංකාවේ හොර රහසේ සිදුකරන කංසා වගාව නිසා අදටත් විශාල වන විනාශයක් සිදුවන නිසා අපරාධ නීතිය ලිහිල් වීම මත විශාල කංසා හේන් ප්‍රමාණයක් ඇති වුවහොත් එයින් පරිසරයට සිදුවන හානිය අවම කිරීමට රජයට සිදුවනු ඇත. සොබා දහමෙහි අනගි දායාදයක් වන කංසා සොබාදහමට හානියක් නොවන ලෙස භාවිතා කිරීම රජයේ මෙන්ම ජනතාවගේ යුතුකමකි. නව තාක්ෂණය භාවිතා කරමින් එම කටයුතු විධිමත්ව පවත්වාගෙන යාමට වෙනම පරිපාලන ඒකකයක් පිහිටු විය යුතුය.

ඖෂධ නිෂ්පාදනයට අමතරව රෙදිපිළි, කඩදාසි, ප්ලාස්ටික්, ඉන්ධන, ශරීර ආලේපන සහ සත්ව ආහාර ආදී විවිධ නිෂ්පාදන හරහා කංසා වෙළඳපොළ පොහොසත් වන නිසා කංසා වගාවට සහ කංසා ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට ආයෝජකයන්ගේ දැඩි ආකර්ෂණයක් පවතී. එමනිසා පුද්ගලික අංශයට කංසා වගා කිරීමට අවස්ථාවක් ලබාදෙන විට එම කර්මාන්ත ආයතන රජයේ සහ පුද්ගලික හවුල්කාරිත්වය මත පවත්වාගෙන යා යුතුය. එසේ නොවුනහොත් කංසා නීතිගත කිරීමෙන් ප්‍රතිලාභ ලබන්නේ රටේ ජනතාව නොව විදෙස් සමාගම් ය.