මෛත්‍රී, විජේදාස, මාරපන : රවී ආරක්ෂා කරති

මෛත්‍රී, විජේදාස, මාරපන : රවී ආරක්ෂා කරති

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අපරාධයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට හා අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නගෙන් එසේ ප්‍රකාශයක් ලබා ගැනීමටත් ඔහු අත්අඩංගුවට ගැනීමටත් තමා තරයේ විරුද්ධ යයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තරයේ අවධාරණය කර ඇත.

ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ සැප්තැම්බර් 08 වැනිදා සවස තම නිවසේ දී ඇමතිවරුන් දෙදෙනකු, නීතිපති හා එම දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන්, අමාත්‍යංශ ලේකම්වරුන් හා අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඉහළ නිලධාරීන් කැඳවා පැවැත්වූ සාකච්ඡාවකදීය. අමාත්‍ය විජේදාස රාජපක්ෂ, අමාත්‍ය තිලක් මාරපන යන දෙදෙනා රැස්වීමට සහභාගි වුණ අතර රැස්වීම අවසන් වන විට තලතා අතුකොරාල ඇමතිනිය ද පැමිණ තිබේ.

තමා ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක බවත්, ආරක්ෂක හා මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීම තමාට නරක ලෙස බලපාන බවත්, ඒ හේතුවෙන් හමුදාවේ සාමාජිකයන් ඇතුළු විශාල ජනතාවක් ආණ්ඩුව සමග උරණවී ආණ්ඩුව පරාජයට පත් වී රාජපක්ෂලාට බලය හිමිවනු ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ.

ශිෂ්‍යයන් 5 දෙනෙකු ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් මරා දැමීමට චෝදනා ලබා සිටින චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත්ට නීතියෙන් සැඟවී සිටීමට ඉඩකඩ සලසා දුන්නේ ය හා ඔහුට රටින් පැන යන්නට සහය දුන්නේය යන චෝදනාව මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අත්අඩංගුවට ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර දී තිබේ.

මෙම රැස්වීමේදී අදහස් දක්වා ඇති විජේදාස රාජපක්ෂ ඇමතිවරයා ජනාධිපතිවරයාගේ අදහස අනුමත කරමින් කතා කර ඇති අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිටින සමහර නිලධාරීන් එල්ටීටීඊ හිතවතුන් බව ද ප්‍රකාශ කර තිබේ. එන්ජීඕවලටයි ජාත්‍යන්තරයටයි ඕනෑ විදිහට ආණ්ඩු කරන්න බැරි බව ද විජේදාස රාජපක්ෂ ඇමතිවරයා එහිදී කියා තිබේ. ජනාධිපතිවරයාගේ අදහස අනුමත කළ තිලක් මාරපන ඇමතිවරයාද අසා ඇත්තේ මේ කාරණය ගොඩින් බේරාගන්නට ක්‍රමයක් නැද්ද කියාය. ඒ අවස්ථාවේදී ප්‍රතිචාර දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පවසා ඇත්තේ අපරාධ සැකකරුවකුට සැඟවීමට හා රටින් පිටවීමට සහය දීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් තොරතුරු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට එරෙහිව තිබෙන බවයි. ඔහු අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන්ද අවසර ලැබී තිබෙන බව ඔවුන් පැහැදිලි කොට තිබේ.
අනිද්දා

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න